
යගිරල නෙලුව මහාගෙදරවත්ත පදිංචි දිනේෂ් මධුසංඛ ලියනගේ විසින් ඉත්තෑපාන පොලිසියට එරෙහිව ගොනු කර තිබූ SCFR/28/2025 අංක දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම 2026 මැයි 25 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, අර්ජුණ ඔබසේකර සහ ආචාර්ය සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.
පෙත්සම්කරු වන දිනේෂ් මධුසංඛ වෙනුවෙන් නීතිඥ රමිසි බචා මහතාගේ උපදෙස් මත නීතිඥ නිසාරා වික්‍රමසිංහ මෙනවිය සමඟ නීතිඥ ආර්මිසා ටිගල් මෙනවිය පෙනී සිටියාය. වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියේය.
පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ආර්මිසා ටිගල් මෙනවිය අධිකරණයට සඳහන් කළේ, තම සේවාදායකයා 2022 නොවැම්බර් 30 වන දින උදෑසන ඉත්තපාන ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත රැකියාවට යමින් සිටියදී ඉත්තපාන පොලිසිය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, දිනේෂ් මධුසංඛව කැලෑ ප්‍රදේශයකට රැගෙන ගොස් කොච්චි මිරිස් කොටා ශරීරය පුරා තවරමින් පහරදී ඇති බවත්, පසුව පොලිසිය ආසන්නයේ පිහිටි පොලිස් බැරක්කයක් තුළ රඳවා තබාගෙන පොලු සහ හෝස් බටවලින් පහරදී වදහිංසා සිදු කර ඇති බවත්ය. එම කාලය තුළ ඥාතීන්ට ඔහු බැලීමට කිසිදු අවස්ථාවක් ලබා දී නොතිබූ බවද අධිකරණයට දන්වා සිටියාය.
තවද 2022 දෙසැම්බර් 1 වන දින සවස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුවේ සේවය කළ නීතිඥ හෂානි චිත්‍රාංගනි මෙනවිය ඉත්තපාන පොලිසියේ ස්ථානාධිපතිවරයා අමතා දිනේෂ් සම්බන්ධයෙන් විමසීමෙන් අනතුරුව සවස 4.30ත් 5.00ත් අතර කාලයේදී ඔහු පොලිසිය වෙත ගෙනවිත් කූඩුවට දමා තිබූ බවත්, පසුදින වන 2022 දෙසැම්බර් 2 දින උදෑසන ඉත්තපාන රෝහලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කිසිදු චෝදනාවක් නොමැතිව මුදා හැර ඇති බවත් නීතිඥවරිය අධිකරණයට පැවසුවාය.
පොලිස් වදහිංසාව හේතුවෙන් දැඩි ලෙස අසනීප තත්ත්වයට පත්ව සිටි දිනේෂ් මධුසංඛ පසුව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබූ අතර, අධිකරණ වෛද්‍ය වාර්තාවේ තුවාල 21ක් සටහන් වී ඇති බවද නීතිඥ ආර්මිසා ටිගල් මෙනවිය අධිකරණයට දන්වා සිටියාය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට සඳහන් කළේ, පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ 2022 දෙසැම්බර් 1 වන දින සවස 6.00ට බවත්, ඉත්තපාන රෝහල විසින් නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවක්ද පවතින බවත්ය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 12(2) සහ 13(1) වගන්ති උල්ලංඝනය වී ඇති බවට මතුකර ඇති චෝදනා සම්බන්ධයෙන් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.
