
ජාතික කලා භවන තුළ තිබූ වටිනා චිත්‍ර 42ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකුගෙන් මේ වනවිටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද සඳහන් වේ.
පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙම චිත්‍ර අස්ථානගත වීම පිළිබඳ කරුණු අනාවරණය කර තිබිණි.
මෙම සොරකම සම්බන්ධයෙන් 2023 වසරේදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරියක විසින් ශ්‍රී ලංකා පොලීසිය යටතේ ක්‍රියාත්මක කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණද, ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අස්ථානගත වූ චිත්‍ර සොයාගැනීමට මෙතෙක් හැකිවී නොමැත.
අස්ථානගත චිත්‍ර අතර ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වන ලයනල් වෙන්ට්ඩ් මහතා ඇතුළු “43 කණ්ඩායම”ට අයත් නිර්මාණ කිහිපයක් සහ හිටපු අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතාගේ රුව ඇතුළත් චිත්‍ර දෙකක්ද තිබෙන බව අනාවරණය වී ඇත.
2008 වසරේ මුද්‍රණය කරන ලද ඇල්බමයකට අනුව චිත්‍ර 247ක් ජාතික කලා භවන සතුව තිබී ඇති අතර, දැනට සොයාගත හැක්කේ චිත්‍ර 233ක් පමණක් බව සඳහන් වේ. එම අස්ථානගත චිත්‍ර 42න් 14ක් පහසුවෙන් හඳුනාගත හැකි වුවද, ඉතිරි 28 සම්බන්ධයෙන් නිසි තොරතුරු කිසිවෙකු සතුව නොමැති බවද වාර්තා වේ.
1987 වසරේ ජාතික කලා භවනේ තොග භාණ්ඩ ලේඛනයේ මෙම චිත්‍ර 42 පිළිබඳ සඳහන්ව තිබුණද, එම තොග පොතද මේ වනවිට අස්ථානගතව ඇති බව පැවසේ.
තවද, කලා භවනේ තිබූ චිත්‍ර 63ක් “අබලි චිත්‍ර” ලෙස නම් කරමින් 1999 වසරේදී රුපියල් 1500ක මුදලකට අලෙවි කර ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ. එම අලෙවිය සම්බන්ධයෙන් නිසි ලේඛන කිසිවක් දැනට සොයාගැනීමට නොහැකි බව වාර්තා වේ.
විදේශයක පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට රැගෙන ගිය චිත්‍ර කිහිපයක්ද නැවත ජාතික කලා භවනට රැගෙනවිත් නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, එම සියලු කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
