ජෝ බයිඩන් වැඩ අරඹයි !

ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයෙන් පසුව ඔහුගේ ජයග්‍රහණය පිළිනොගනමින් ප්‍රසිද්ධ දේශපාලන කටයුතු වලින් ඉවත් වී නිහඩව කටයුතු කරමින් සිට ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිට බල සංක්‍රාන්තියකට තම කැමැත්ත පළ කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ජෝ බයිඩන් කැබිනට් මණ්ඩලය, රාජ්‍ය ආරක්ෂක අංශ, ජාත්‍යන්තර ආයතන නියෝජිතයින් හා තානාපති අංශ සදහා සුදුසු පුද්ගලයින් පත්කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, බැරක් ඔබාමා සමයේ රාජ්‍ය ලේකම් ධුරය දැරෑ ජෝන් කෙරී පරිසරය පිළිබදව ජනාධිපති නියෝජිතයා ලෙසද,  දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර සඳහා පළපුරුදු ආරක්ෂක අංශ ප්‍රධානියෙකු වූ අලහේන්ද්‍රෝ මයොර්කස් පත් කිරීමට නියමිතව තිබේ. ඔහු කියුබාවේ උපන් අයෙකු බව වාර්තා වේ.

ඒමෙන්ම, ඔබාමා පාලන සමයේ CIA හි හිටපු ප්‍රධාන චරිතයක් සහ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක උපදේශිකාව වූ ඇව්රිල් හයින්ස් හට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුල් පුටුව භාර වී තිබේ. ජගත් සංවිධානය සඳහා ඇමරිකානු තානාපතිනිය වශයෙන් පත් කර තිබෙන්නේ ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් නැමති කළු ජාතික කාන්තාවකි.

උප ජනපතිනී කමලා හැරිස් ඇතුළුව දැනට බයිඩන්ගේ කැබිනට් මණ්ඩලයේ කාන්තාවන් තිදෙනෙකු සිටිති. මෙම නාමයෝජනාවන් සෙනෙට් සභාව විසින් අනුමත කිරීමෙන් පසුව තහවුරු කරනු ඇත.

Social Sharing
විදෙස්