මත්තල ගුවන් සේවා නගරයක් කිරීමට රජයේ අවධානයට

දැනට ඇමෙරිකාව හා යුරෝපය සම්බන්ධ කෙරෙන ගුවන් ගමන් සඳහා නැගෙනහිර ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන්නේ, ඩුබායි, අබුඩාබි, දොහා වැනි ගුවන් තොටුපළවල් ය.

දැනට පවතින වතාවරණය හමුවේ, ශ්‍රී ලංකාව තාවකාලික ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට ගල්ෆ් කලාපයේ ගුවන් සේවාවලින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.  වාර්තාවන අන්දමට උපාය මාර්ගික වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීම හේතුවෙන් මෙම ඉල්ලීම් ඉදිරිපත්ව ඇත.

දමින්ද රඹුක්වැල්ල පවසන ආකාරයට ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා යානා 30ක් පමණ නතර කර තැබීම් පහසුකම් තිබිය යුතු බවයි.

මත්තල ගුවන් තොටුපලට දැනට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ, සීමිත ගුවන් සේවා සංඛ්‍යාවක් සඳහා පමණි. රෙඩ් විග් නැමති රුසියානු ගුවන් සේවය සහ නිශ්චිත ගමන් වාරවලින් තොර විශේෂ ගුවන් ගමන් සඳහා දැනට මත්තල ගුවන් තොටුපළ භාවිත කෙරෙන අතර මීට අමතරව, අයහපත් කාලගුණික තත්ත්වයන්වලදී විකල්ප ගුවන් පථයක් ලෙස මත්තල ගුවන් තොටුපළ භාවිත වේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා 8 – 10ත් අතර සංඛ්‍යාවක් නතර කර තැබිය හැකි බව ය.

එමෙන් ම, A380 සහ බෝයං 777 වර්ගයේ විශාල ගුවන් යානා මෙහෙයවීමේ හැකියාව ද මත්තල ගුවන් තොටුපොළ සතුවේ.

පුළුල් බඳ සහිත යානා 5-6 සංඛ්‍යාවක් මත්තල ගුවන් තොටුපළේ නතර කර තිබිය හැකි ය. “හබ් එකක් වෙනවා නම් යානා 30ක් විතර දාන්න පුළුවන් වෙන්න ඕනේ. දැනට රන්වේ එක ඕකේ. නමුත් පාර්කින් ඒරියා එක හදා ගන්න ඕනේ.” මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ රටවල් විදේශ අමාත්‍යංශය හරහා රජයත් සමග සාකච්ඡා පැවැත්විය යුතු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

“තෙල්දෙන්න පුළුවන් ද, සේවා දෙන්න පුළුවන් ද කියලා අපි තමා තීරණය කරන්න ඕනේ,” ඔහු වැඩිදුරටත් පැවසීය. දැනට මත්තල ගුවන් තොටුපළේ කේටරිං හා ගොඩබිම් පහසුකම් සැපයීමේ සේවා සපයන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය යි. ඒ අනුව, එම සේවා සැපයීම සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ ය.

මත්තල ගුවන් සේවා නගරයක්

පවතින වාතාවරණය මැද මත්තල ගුවන් සේවා නගයරක් ලෙස ක්‍රියාත්මක කිරීමට (Aviation city) ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවී තිබේ. අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ, දැනට ගුවන් සේවා කිහිපයක් අමතර ගුවන් ගමන් සඳහා මෙම පහසුකම් ඉල්ලා ඇති බව ය.

නමුත්, මත්තල ගුවන් තොටුපළේ සමස්ත මෙහෙයුම් කටයුතු පැවරීම සඳහා ලංසු (EOI ) කැඳවීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය අනුර කරුණාතිලක පැවසීය. EOI එකක් කොහොමත් නිකුත් කරනවා. ඕනෑ කෙනෙකුට ලංසු ඉදිරිපත් කරන්න පුළුවන්, කටාර් එයාර්වේස්, එමිරේට්ස් විතරක් නෙමෙයි.

“මෙතන තියෙන්නේ එයාර් ලයින්ස්නේ, අපි බලාපරොත්තු වෙන්නේ සම්පූර්ණ මෙහෙයුම්, ගුවන් තොටුපළේ ම ඔපරේෂන්, ඒවියේෂන් ස්කූල් එකක්, ඒවියේෂන් සිටි එකක් හැටියට ඔපරේට් කරන්න තමා ලංසු කැඳවන්න බලාපොරොත්තු වෙන්නේ,” යැයි අමාත්‍යවරයා පැවසීය.

කොළඹ වරායේ අමතර ගබඩා පහසුකම් සඳහා ඉල්ලීම්

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක බීබීසී සිංහල වෙත පැවසුවේ, මැද පෙරදිගට යැවීමට ඇති භාණ්ඩ ගබඩා කර තැබීම සඳහා නෞකා සමාගම් දෙකක් කොළඹ වරාය ආශ්‍රිතව ගබඩා පහසුකම් ඉල්ලා ඇත බව ය. “ෂිපිං ලයින් කතා කරලා තියෙනවා. මැද පෙරදිගට යවන්න තියෙන කාර්ගෝ මෙහෙ ගබඩා කරන්න ඉල්ලලා තියෙනවා.”

දැනට එම ඉල්ලීම් ගැන සලකා බලමින් සිටි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. “වරාය අධිකාරිය යටතේ තියෙන අමතර ඉඩම් පාවිච්චි කරනවා. ටර්මිනල්වලින් පිට තමා කරන්නේ. තාම තීරණයක් අරන් නැහැ. අවශ්‍ය නම් පහසුකම් සපයන්න පුළුවන්. සූදානම් වෙලා ඉන්නේ.”

 

උපුටා ගැනීම BBC සිංහල

Social Sharing
අවකාශය