වසර 30ක් පුරාවට පදිංචිවී සිටි නිවසෙන් පුල්මුඩේ පොලීසිය බලහත්කාරයෙන් පන්නා දමයි.

ත්‍රිකුණාමලය පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ වසර 30කට අධික කාලයක් පදිංචිව සිටි නිවසින් එම නිවසියන් පුල්මුඩේ පොලිසිය විසින්  බලහත්කාරයෙන් ඉවත් කළ සිදුවීමක් ඉකුත් පෙබරවාරි මස 09 වනදා වාර්තා වේ. ඒ අනුව පුල්මුඩේ පොලිසිය විසින් නිවසියන් බලහත්කාරයෙන් එම නිවසින් ඉවත් කර ඇත්තේ මෙම ඉවත් කිරීම සඳහා කිසිදු අධිකරණ නියෝගයක් හෝ ලිඛිත බලපත්‍රයක් තමන්ට ඉදිරිපත් කිරීමකින් තොරව බව එම නිවසියන් පවසා සිටියි.

නිවසින් ඉවත් කර ඇත්තේ පුල්මුඩේ වාට්ටු අංක 04, ජින්නපුරම් පාසල් මාවතේ පදිංචි 62 හැවිරිදි අබ්දුල් සමදු සම්සුදීන් නමැති පස්දරු පියෙක් වන අතර වෘත්තියෙන් ඔහු ගොවියෙකි, ඔහු සඳහන් කරන ආකාරයට ඔහු මෙම ඉඩමේ වසර තිහක් මුළුල්ලේ පදිංචිව සිටින බවයි.

කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් සියා උල් හක් මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙම ඉඩම රජයට අයත් එකක් වන බැවින් මෙතෙක් ඔප්පු නිකුත් කර නොමැති බවයි. එහෙත් සම්සුදීන් මහතා පවසන්නේ, තම ඉඩමෙන් බලහත්කාරයෙන් පවරා ගත් අක්කර තුන්කාලක් පසුගිය රජයේ සමයේ රිෂාඩ් බදුරුදීන්ගේ ලේකම්වරයාට ඔප්පු මගින් ලබා දුන් බවකි.

2023 වසරේදී මෙම ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා නඩුවක් පවරා ඇති අතර, එහිදී අධිකරණය තීන්දුව කර ඇත්තේ එම ඉඩම සම්සුදීන් මහතාට අයත් බවටයි. එම තීන්දුවෙන් පසු නිවසට විදුලිය ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරිවරයා වෙත යොමු වූ අවස්ථාවේදී, අනුමැතිය සහිත ලිපියක් ලබාදිය නොහැකි බව දැනුම් දී ඇති බවත් ඔහු පවසයි.

මෙම වසරේදී නැවත වරක් ප්‍රාදේශීය ලේකම්වරයා මෙම ඉඩම සම්බන්ධයෙන් නඩුවක් පවරා ඇති අතර, එහිදී අක්කර එකහමාරක් රජයට භාරදෙන ලෙස අධිකරණය තීන්දු කර ඇත. එයට තමන් එකඟ වී තිබුණද, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්ගේ නියෝග මත පැමිණි පුල්මුඩේ පොලිසිය විසින් තමන් සහ දරු පවුල නිවසින් ඉවත් කළ බව සම්සුදීන් මහතා කියා සිටී.

මේ වන විට එම පවුල ජින්නපුරම් පාසල් මාවතේ මාර්ගය අසළ රැඳී සිටින අතර, ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙසයි.

ඔබ ප්‍රදේශයෙත් මෙවැනි අසාධාරණකම් සහ මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා ඔබත් මුහුණ දෙයි නම් එවැනි සිදුවීම්වලට එරෙහිව නීතියේ සහය ලබා ගැනීමට ඔබටත් හැකියාව ඇත. ඒ සඳහා ඔබටත් ඔබ ප්‍රදේශයේ ඇති මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් වෙත හෝ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත පැමිණිළි කිරීමේ හැකියාව ඔබට පවති.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මාධ්‍යස්ථානය  0112669100

ත්‍රිකුණාමලය මානව හිමිකම් මධ්‍යස්ථානය 0761023794

සටහන මංගලනාත් ලියනාරච්චි

 

Social Sharing
නවතම පුවත්