බන්ධනාගාර කොරෝනා පොකුරේ හෙට දවස?

නව කෙරෝනා වෛරසයට මේ වන විට ලංකාවේ පුද්ගලයින් 18,000 ක් පමණ ගොදුරු වී ඇති අතර මරණ 66 ක් වාර්තා වී ඇත. දිවයිනේ දිස්ත්‍රික්ක රැසකින් රෝගීන් වාර්තා වෙද්දී මේ වෛරසය මේ වන විට බන්ධනාගාර තුලටද පැමිණ තිබේ.

පළමුව වැලිකඩ බන්ධනාගාරයෙන් රෝගීන් වාර්තා වු අතර මේ වන විට එය බෝගම්බර, කුරුවිට, කොළඹ රිමාන්ඩ්, මාතර, බූස්ස, වැලිකඩ කාන්තා අංශය ආදි බන්ධනාගාර දක්වාම විහිදි පැතිරී ගොස් ඇත.

මේ වන විට බන්ධනාගාර පොකුර 500 ඉක්මවා ගොස් ඇත. නිරෝධායනයට ලක් කර ඇති පිරිසද විශාලය. මේ ආසාදිතයින් අතර බන්ධනාගාර නියාමක නිලධාරින් 12 දෙනෙකු සිටියි. වැඩිම ආසාදිතයින් පිරිස  පිරිමි රැඳවියන් වේ.

මේ අතර රැඳවියන් අතර දුරස්ථභාවය පවත්වා ගැනිම වෙනුවෙන්ද, නිරෝධායන කටයුතු වෙනුවෙන්ද  මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය යොදා ගැනිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාර රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසද වෙන් කර තැබුණි. එහිදී එම රෝහලේ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර ඇතුලු පිරිසට බන්ධනාගාර නිලධාරීන්ගේ කාමරයක් වෙන් කර කර දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි පහුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි.

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාරයේ වහලය මතට නැඟ විරෝධතාවයක් දියත් කර තිබුණේ මේ අතරය. ඒ ඔවුන්ට වහාම PCR පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලමිනි. කිසිදු ප්‍රතිචාරයක් ඔවුන්ට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ලැබුණේ නැත.

මේ විරෝධතාව පසුව කලුතර බන්ධනාගරය දක්වාද දියත් කෙරුණු නමුත් ඊට විසඳුමක් හිමි වුයේ නැත.

මේ වන විට බන්ධනාගාර වල PCR 9500 ක් සිදු කර ඇති තඅර ඉන් 7000 ක්ම කොළඹ ආශ්‍රිත බන්ධනාගර තුනෙහි සිදු කර ඇත.

නමුත් මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව ව්‍යාප්ත වෙන මේ කොරෝනාව පාලනය කිරිම අපහසු මට්ටමක ඇත්තේය. ඒ බන්ධානාගර වල රැඳවියන් අතර කිසිදු මීටරයේ පරතරයක් නොමැති නිසාය.

ඔවුන් දැඩි තදබදයකින් යුක්තව බන්ධානාගරගතව සිටින පිරිසකි. ඒමෙන්ම ඔවුන් වැසිකිළි, සබන්, දිය නෑම, ආහාර ගැනීම වැනි සියලු කාර්යයන් සිදු කරන්නේ පොදුවේය. මෙහිදී එක් රැඳවියෙකු හෝ ආසාදිතයෙකු බවට පත් වුහොත් බන්ධනාගාරයේ සියලුම රැඳවියන්ට මෙම වෛරසය ආසාදනය වීම ඉතාම පහසුය.

මේ අතර මේ පැතිර යන වෛරසය පාලනය කිරීම සඳහා බන්ධනාගාර  දෙපාර්තමේන්තුව විසින් පංච පුද්ගල කොවිඩ් නිවාරණ කමිටුවක්ද පත් කර ඇත්තේය.

ඒ බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක, බන්ධනාගාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක හේමන්ත රණසිංහ, බන්ධනාගාර කොමසාරිස් කේ.ඒ් .එස් කොඩිතුවක්කු, බන්ධනාගාර සහකාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක හා වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන ජේලර් ප්‍රේමවංශ යන නිලධාරින් පස් දෙනාය.

නමුත් බන්ධනාගාර නිලධාරීන් පෙන්වා දෙන්නේ මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ට සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලැබි නොමැති බවය. එමෙන්ම නිලධාරී හිඟයද ඔවුන්ට දැඩිව බලපෑම් කරනු ලබයි.

මේ වන විට බන්ධනාගාර නිලධාරින්ගේ නිවාඩුද අවලංගු කර ඇත. මේ ගැන බන්ධනාගාරයේ කිසිදු සංගමයක් කථා නොකරන බව බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ දැඩි කළකිරීමෙනි. එම සංගම් කියා සිටින්නේ මේ අවස්ථාවේ ඔය ප්‍රශ්න කථා කළ නොහැකි බවත් මෙය ඊට අවස්ථාව නොවන බවත්ය.

මෙවන් පසුබිමක් තුල බන්ධනාගාර තුල ව්‍යාප්ත වන කොරෝනා පොකුරේ හෙට දවස ගැන ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයකි. බෝගම්බර බන්ධනාගාරයේ  සිදු වු රැඳවියාගේ මරණය එහි එක් සිදුවීමක් පමණද?

-ශානිකා-

Social Sharing
නවතම