ඉගෙනීමට වෙන්කරන මුදැලින් කෝටි හාරදහසක කප්පාදුවක්!

ඉකුත් වසරට සාපේක්ෂව ලබන වසරේ අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම රුපියල් කෝටි හාරදහසකට වැඩි ප්‍රමාණයක කප්පාදුවක් සිදු කර ඇති බව පෙන්වා දෙන දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ගුරු විදුහල්පති බලාපොරොත්තු සුන් කළ අයවැය හෙලා දකිමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ලබන වසර වෙනුවෙන් නොවැම්බර් 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට රුපියල් බිලියන 126 ක් වෙන්කර ඇති බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය අවධාරණය කරන්නේ  2019 වසරේ  අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර තිබු මුදල රුපියල් බිලියනි 167 ක් බවයි.

“ඒ අනුව බිලියන 41 කට ආසන්න මුදලක් කප්පාදු කර ඇත්තේ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන ලෙසට වූ ඉල්ලීම ද තුට්ටුවකටවත් මායිම් නොකරමිනි.”

මෙවර අයවැයෙන් අධ්‍යාපන පද්ධතියේ දියුණුව වෙනුවෙන් කිසිදු සාධනීය යෝජනාවක් ඉදිරිපත් කර නැති අතර, ග‍්‍රාමීය පාසල්වලට දුරස්ථ අධ්‍යාපනය වෙනුවෙන් රූපවාහිනී යන්ත‍්‍ර මිල දී  ගැනීම සඳහා රුපියල් මිලියන 3000 ක් වෙන්කර ඇති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.

එමෙන්ම  විශ්ව විද්‍යාල 4 ක් ආරම්භ කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1000 ක් වෙන් කර ඇති බව පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයා නොවැම්බර් 19 බ්‍රහස්පතින්දා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රශ්න කරන්නේ රුපියල් මිලියන 1000 කින් විශ්ව විද්‍යාල 4 ක් ආරම්භ කළ හැකි ද යන්න ගැටලූ සහගත බවයි.

මුදල් අමාත්‍ය  මහින්ද රාජපක්ෂ  විසින් ඉදිරිපත් කළ අය වැය තුළ ගුරු සංවර්ධනය, කෝවිඩ්  වසංගත තත්වය තුළ අධ්‍යාපන පද්ධතියේ කඩාවැටීම යළි ගොඩනැගීමට අදාළව නව යෝජනා කිසිවක්  අන්තර්ගත නොමැති බවයි වෘත්තිය සමිති නායකයා වැඩි දුරටත් පවසන්නේ.

2019 සහ 2020 වර්ෂ ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට බලකළ වැඩවර්ජන සහ විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලින් පිරි වසර දෙකක් බව සිහි ගන්වන ජෝසප් ස්ටාලින් තව දුරටත් පෙන්වා දෙන්නේ  අවසාන වරට 2020 මාර්තු 16 සිට දින 5 ක වැඩ වර්ජනයක් සැලසුම් කර තිබියදී කෝවිඩ්  19 වසංගතය මුල්කරගෙන මාර්තු 12 දින පාසල් නිවාඩු ලබා දුන් බවයි.

2021 අයවැය යෝජනා තුළින් ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා විසඳන බවට වර්තමාන රජය දුන් පොරොන්දු කඩකරමින් මෙවර අයවැය තුළ එම ගැටලූවට විසඳුමක් ලබාදී නැතිවා පමණක් නොව ඒ සම්බන්ධයෙන් කිසිදු වචනයක් අයවැය වාර්තාව තුළ සඳහන් නොවීම තුළ ගුරු විදුහල්පතිවරු රැවටීමකට  ලක්කර ඇති බවටත් ගුරු සංගම් නායකයා චෝදනා නගයි.

අය වැය මගින් අධ්‍යාපනයට මෙසේ අඩු  මුදලක් වෙන් කරද්දී ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 355 ක් වෙන් කර ඇති ආකාරය පෙන්වා දෙන ලංකා ගුරු සංගමය තව දුරටත් අවධාරණය කරන්නේ   පොලීසියට වෙන් කළ මුදල ද ඇතුළත් කළ විට එය බිලියන 440 ක් බවයි.

“එය පෙර වසරට සාපෙක්ෂව 12% ක වැඩිවීමකි.”

මාර්ග සංවර්ධනයට, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වඩා වැඩි මුදලක් එනම් රුලියල් බිලියන 330 ක් වෙන් කොට තිබීම සම්බන්ධයෙන්ද ලංකා ගුරු සංගමයේ අවධානය යොමු තිබේ.

රට තුළ වසංගත තත්වයක් තිබියදී සෞඛ්‍ය සදහා වෙන් කිරීම පසුගිය වසරට සාපේක්ෂව  බිලියන 187 සිට 159 දක්වා අඩු කර ඇති ආකාරය පෙන්වා  දෙන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා එය හදුන්වා ඇත්තේ  මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප‍්‍රතිලාභ ලබන සාමාන්‍ය ජනයාට එල්ල කළ මරු පහරක් ලෙසිනි.

වතු කම්කරුවන්ට රුපියල් දහසක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට අය වැය යෝජනාව මගින්  ප‍්‍රකාශ කර ඇත්තේ මීට පෙර ද තෙවතාවක් ප‍්‍රකාශ කළ ද එම වැටුප් වැඩිවීම ලබා නොදුන් පසුබිමක බවත් ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් සිහිපත් කර තිබේ.

2016 සිට 2020 අතර කාලය තුළ විශ‍්‍රාම ලැබූ විශ‍්‍රාමිකයන්ට හිමි දීමනාව අයවැයෙන් ලබාදෙන බවට වූ පොරොන්දුව ද මෙවරත් ඉටුකර නොමැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

අයවැය හිඟය පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 1724 ක බදු ආදායමක් අපේක්ෂා කළ ද එයින් බිලියන 1353 ක් ම භාණ්ඩ හා සේවා මත පනවන බදුවලින් ලබා ගැනීම තුළ ජනතාව මත 80% කට වැඩි බදු බරක් පවටා ඇති බවටත් චෝදනා නගන ගුරු සංගම් නායකයා අනතුරු අගවන්නේ එම තත්වය තුළ ජනතාවගේ බඩු මිල වැඩිවීම නොවැලැක්විය හැකි බවයි.

රාජ්‍ය සේවකයන්ට සිය රාජකාරි කාල සීමාවෙන් පසු වෙනත් රැකියාවක් කිරීමට අවස්ථාව ලබා  දීමට ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන්ද ලංකා ගුරු සංගමය අවධානය යොමු කර තිබේ.

“රනුග්ගේ වැටුප් කොමිසමෙන් රාජ්‍ය සේවකයන්ට 2020 ජනවාර් 01 දින සිට ගෙවීමට අනුමත කර තිබූ වැටුප් වැඩි කිරීම අයවැයෙන් ලබාදෙන බවට වූ පොරොන්දුව පිළිබඳ හෝ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොකර රාජ්‍ය සේවකයන්ට රාජකාරි වේලාවෙන් පසු වෙනත් රැකියාවකට යාමට අවසර ලබාදීම කනගාටුදායක තත්වයකි. පැය 8 ක සේවයෙන් පසු නැවත සේවයේ යෙදී මුදල් උපයන ලෙස ප‍්‍රකාශ කිරීම රාජ්‍ය සේවය බරපතල ලෙස හෑල්ලූවට ලක් කිරීමකි. මෙම තත්වය තුළ සමස්ත වැඩ කරන පන්තියේ ඉල්ලීම දිනා ගැනීම සඳහා ඒකාබද්ධ අරගලයක් කිරීම හැර වෙනත් මගක් නැති බව”  ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් වැඩි දුරටත්  ප‍්‍රකාශ කර සිටී.

ඉගෙනීමට වෙන්කරන මුදැලින් කෝටි හාරදහසක කප්පාදුවක්!

Social Sharing
නවතම