එක්සත් ජාතීන්ගේ සංවිධානය “ආසන්න මූල්‍ය බිඳවැටීමක” – මහලේකම් ගුටරෙස්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ජිනීවා එක්සත් ජාතීන්ගේ (UN) මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, සංවිධානය “ආසන්න මූල්‍ය බිඳවැටීමක” (imminent financial collapse) මුහුණ දෙමින් සිටින බව ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කර සිටින්නේ සාමාජික රටවල් සිය නියමිතව දායක මුදල් ගෙවා නොමැති වීම හේතුවෙන් සංවිධානය මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

ඒ අනුව ඉකුත් සිකුරාදා දින ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා සියලුම සාමාජික රටවල් සඳහා ලිපියවමින් සඳහන් කර ඇත්තේ සංවිධානයේ ස්ථවර මෙහෙයුම් අයවැය සඳහා අවශ්‍ය මුදල් ඉදිරි ජුලි මාසය වන විට අවසන් විය හැකි බවයි. එසේ සිදුවුවහොත් සංවිධානයේ මෙහෙයුම් දැඩි ලෙස අඩාල විය හැකි බව ද ඔහු අවධාරණය කර ඇත. තවද ඔහු එම ලිපියේ සඳහන් කර ඇත්තේ සාමාජික රටවල් සිය දායක මුදල් සම්පූර්ණයෙන් සහ නියමිත කාලයට ගෙවිය යුතු බවත් එසේ නොමැතිනම් ආසන්න මූල්‍ය බිඳවැටීමක් වැළක්වීම සඳහා සංවිධානයේ මූල්‍ය නීති සංශෝධනය කළ යුතු බවත් ය.

මෙම ලිපිය තුළින් කිසිදු රටක නමක් සඳහන් නොකර ඇතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට විශාලතම මූල්‍ය දායකත්වය සපයන අමෙරිකා එක්සත් ජනපදය සිය දායක මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සහ ආයතන කිහිපයකින් ඉවත් වීම මෙම අර්බුදයට හේතු වී ඇති බවට වාර්තා වේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) සහ UNESCO වැනි ආයතන කිහිපයකින් ඉවත් වීමට ද පියවර ගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන රැසකට ලබාදෙන අරමුදල්ද කපා හැර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන ආකාරයට ඇමරිකාව දැනට සාමාන්‍ය අයවැයට ඩොලර් බිලියන 2.196ක් ගෙවීමට ඇති බවත් ඉන් ඩොලර් මිලියන 767ක් වන්නේ මෙම වසරට හා පෙර වසරවලට අදාළ දායක මුදල් බවත් සඳහන් වේ. එමෙන්ම, UN සංවිධානයේ සාම සාධක මෙහෙයුම් සඳහා වෙනම අයවැයට ඩොලර් බිලියන 1.8ක් ද අමෙරිකාව විසින් ගෙවීමට ඇති බවද සඳහන් වේ.

වෙනිසියුලාව දායක මුදල් නොගෙවන රටවල් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ සිටින අතර, එරට ණය මුදල ඩොලර් මිලියන 38ක් ලෙස සඳහන් වේ. වසර දෙකක් පුරා දායක මුදල් නොගෙවීම හේතුවෙන් වෙනිසියුලාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභාවේ ඡන්ද හිමිකමද අහිමි වී ඇත. මෙවැනි තත්වයක මහලේකම්වරයා අනාවරණය කරන්නේ, 2025 වසර අවසානය වන විට සංවිධානය වෙත ගෙවීමට තිබූ මුළු හිඟ මුදල ඩොලර් බිලියන 1.568ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙය 2024 වසර අවසානයේ පැවති හිඟයට වඩා දෙගුණයකට අධික ප්‍රමාණයකි.

මෙම තත්ත්වය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හි මුදල් සංචිත (liquidity reserves) සම්පූර්ණයෙන්ම අවසන් වීමට ආසන්න වී ඇති බව ගුටරෙස් මහතා පෙන්වා දෙයි. දායක මුදල් ලැබීම සිදු නොවන්නේ නම්, 2026 වසර සඳහා අනුමත කර ඇති ඩොලර් බිලියන 3.45ක සාමාන්‍ය අයවැය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ද ඔහු අවධාරණය කර සිටියි.

 

Social Sharing
නවතම පුවත්