
වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ප්‍රාථමික සාකච්ඡා ආරම්භ කර ඇති අතර, වයස අවුරුදු 12ට අඩු ළමුන්ගේ දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට රජය විසින් යෝජනාවක්ද ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය. එම යෝජනාවට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කිරීම පිළිබඳවද අවධානය යොමුව ඇත.
ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම හෝ තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති බවද අමාත්‍යවරිය පෙන්වා දී අතර ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවිම්වල ඉහළ යාමක් මේ වන විට දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.
මේ අතර ළමුන්ට එරෙහි සයිබර් අපරාධ පාලනය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කළ දත්ත අනුව, 2025 වර්ෂය තුළ ළමුන් හා සම්බන්ධ පැමිණිලි 10,455ක් ලැබී ඇති අතර, ඒ අතරින් 8,514ක් ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළ පැමිණිලි වේ. ඉතිරි 1,941ක් එම විෂය පථයට සෘජුව අදාළ නොවන පැමිණිලි බව සඳහන්ය.
පසුගිය වසරේදී ළමුන්ට එරෙහි ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 545ක් සහ බරපතළ ලිංගික අපයෝජන පැමිණිලි 231ක් වාර්තා වී ඇත. එසේම 2025 වර්ෂය තුළ යොවුන් වියේ ගැබ් ගැනීම් 79ක්, ගබ්සා කිරීම් 03ක්, ළමා විවාහ 9ක් සහ ස්ත්‍රී දුෂණ 38ක් සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී ඇති බව සඳහන් වේ.
ඊට අමතරව ළමුන්ට එරෙහි සයිබර් හිංසන පැමිණිලි 150ක්, සියදිවි නසාගැනීමට තැත්කිරීම් සම්බන්ධ පැමිණිලි 20ක්ද වාර්තා වී ඇත. උප්පැන්න සහතික නොමැති දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි 42ක් සහ අවුරුදු 5ට අඩු දරුවන් හැරදමා විදෙස් ගත වීම සම්බන්ධ පැමිණිලි 9ක්ද පසුගිය වසරේ ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
