දේශගුණික විපර්යාස මානව හිමිකම් ගැටලුවක්, සිවිල් සමාජය ඊට මැදිහත් විය යුතුයි. – Right to Life

philip

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ නීති පද්ධතිය ක්‍රියාත්මක කරවා ගැනීමට හා මානව හිමිකම් කඩකිරීමට ලක්වන වින්දිතයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට අඛණ්ඩව මැදිහත් වන සිවිල් සමාජයට දේශගුණික විපර්යාසය හේතුවෙන් නිර්මාණය වී ඇති ස්වාභාවික ආපදා සම්බන්ධ මානව හිමිකම් ගැටලු ද තම විෂය පථයට අන්තර්ග්‍රහණය කරගැනීමට සිදු වී තිබෙන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය පවසයි.

2025 දෙසැම්බර් 10 දිනට යෙදුණු ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සඳහා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් 2025 දෙසැම්බර් 11 දින පැවති මානව හිමිකම් ආරක්ෂකයන් ඇගයීමේ වැඩසටහනේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය:

“ශ්‍රී ලංකාව ඉහළ පාරිසරික අවදානමක් සහිත රටක්. එම තත්වය තුළ සිවිල් සමාජ සංවිධාන පාරිසරික යුක්තිය තම විෂය පථයට ඇතුළත් කරගත යුතුව තිබෙනවා. මෙම තත්වය තුළ සාක්ෂි මත පදනම් වී නීති හා පද්ධති සංවර්ධනය කිරීම සඳහා අප උද්දේශනය කළ යුතුව තිබෙනවා. මානව හිමිකම් ආරක්ෂකයන්ට දේශගුණික විපර්යාස බලපෑම, ආපදා සහ වින්දිතයන්ට සේවා සැපයීම සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට සිදුවෙනවා.”

මානව හිමිකම් ආරක්ෂණයේදී වින්දිතයා හා නීතිවේදියා අතර සම්බන්ධතාව අතිශය වැදගත් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මානව හිමිකම් කමිටුවේ සභාපති ලක්ෂාන් ඩයස් මහතා පැවසීය. මානව හිමිකම් සම්බන්ධ වාංමාලාවේ ස්වාභාවික ආපදා වින්දිතයන් ලෙස පමණක් තවමත් හැඳින්වෙන ජනයාගේ ගැටලුව අයිතිවාසිකම් ප්‍රවේශයකින් විමසීම හා ඒ සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනය වැදගත් බව පෙන්වා දෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය:

“ඔවුන් සරණාගතයන් ලෙස නොව, අයිතිවාසිකම් උල්ලංඝනය වූ ජන කොට්ඨාසයක් ලෙස සැලකිය යුතුයි. ආපදාවට ලක්වීම ද මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස සැලකෙන මට්ටම දක්වා මේ සම්බන්ධ මැදිහත්වීම ගැඹුරු විය යුතුයි. එසේම, ගෝලීය උණුසුම ඉහළ යාම සම්බන්ධ බලපෑම්වලට ලක්වන වින්දිතයන් හා සමාජයන් වෙනුවෙන් දේශගුණික යුක්තිය ලබාගැනීම සඳහා නීතිමය මැදිහත්වීම් ඉතා වැදගත්. සිවිල් සමාජය මහජන ලැදියා නඩු පැවරීම ඔස්සේ මෙම කතිකාවන් නීති පද්ධතියට ඇතුළත් කරගත යුතුයි. ඊළඟ ව්‍යසනය ඇති වන තෙක් නොසිට අදම මෙම කතිකාව ආරම්භ කර පෝෂණය කළ යුතුයි. එහිදී පුණ්‍ය ක්‍රියාවලියක් ලෙස පමණක් නොසලකා මානව හිමිකම් ප්‍රවේශයක් ගොඩනැගිය යුතුයි. ආපදා වින්දිතයන් යළි ගොඩනැගීම සම්බන්ධයෙන් මානව හිමිකම් ප්‍රවේශයකින් මැදිහත් වීම හා යටත් වැසියන් පුරවැසියන් බවට පත්කිරීම සඳහා කටයුතු කිරීම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වැනි සංවිධානවල වගකීමක්.”

රාජ්‍ය වධහිංසනයේ ගොදුරක් වූ සිය සොයුරා ඇතුළු දහස් ගණනක් වින්දිතයන් වෙනුවෙන් විසිපස් වසරක් පුරා අප්‍රතිහත ධෛර්යයෙන් සිදුකරන ලද මැදිහත්වීම වෙනුවෙන් මානව හිමිකම් ආරක්ෂිකා අමිතා ප්‍රියන්ති මහත්මිය වෙත මානව හිමිකම් ආරක්ෂකයන් වෙනුවෙන් පිරිනමනු ලබන වසරේ රයිට් ටු ලයිෆ් සම්මානය පිරිනැමීම ද මෙම වැඩසටහනෙහිදී සිදු විය.

බිම් මට්ටමේ මානව හිමිකම් ආරක්ෂණය වෙනුවෙන් කළ මැදිහත්වීම් සම්බන්ධ තක්සේරුවේ පළමු, දෙවන, තුන්වන ස්ථාන පිළිවෙලින් දිනාගත් ගම්පහ, අනුරාධපුර සහ හම්බන්තොට මානව හිමිකම් මධ්‍යස්ථාන වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. කෑගල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය එහිදී විශේෂ ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාවේදී දීප ව්‍යාප්ත මානව හිමිකම් හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ජාලයේ බිම් මට්ටමේ ස්වේච්ඡා මානව හිමිකම් ආරක්ෂකයන් පුහුණු කිරීමේ වැඩසටහන අවසානයේ පැවති ඇගයීමෙහිදී පළමු ස්ථානය දිනාගත් සුනිල් එස්. පැල්ලන්දෙනිය සහ ඇල්ෆ්‍රඩ් ජෙරුෂාන් ඩලීමා, ඩී.එල්. දුලීකා රෝෂීනී, ආර්.ජී.එස්.එම්. විජේනායක, ටී.ඩී. වසන්තා නීලමනී, පී.ඩී.ටී.එල්. විජේසිංහ, ජයන්ත හේවගේ, ජී.ආර්.එස්. කුලතුංග බණ්ඩාර යන ස්වේච්ඡා මානව හිමිකම් ආරක්ෂක මහත්ම මහත්මීන්ට සහතිකපත් පිරිනමන ලදී.

Social Sharing
අවකාශය නවතම