
දිසාපතිවරුන් හා දේශපාලනඥයින් අතර පරතරය ඉතිහාසය පුරා නොපියවී පවතින්නේ ය. 1995 -2000 වන තුරුම දිසාපතිවරුන් සිටියේ දේශපාලනඥයින්ට වඩා උඩින් නැතිනම් සම තැනකය.
මහනුවර දිසාපති – මන්ත්‍රී, පුටු – බංකු හුටපටය මහනුවර – බදුල්ලේ අතීත කතා ඇත.
1977 එජාපය හයෙන් පහක බලයක් ලබද්දී, මහියංගනය ආසනය දිනුවේ කැප්ටන් සී.පී.ජේ.සෙනෙවිරත්න ය. ශ්‍රී.ල.නි.ප. යේ අපේක්ෂක ගල්කැටිය ගේ ආධාරකරුවන්ට අති මහත් තාඩන පීඩන විදින්නට විය. එයට මුල් වුයේ එදා තරුණයෙකු වූ ලක්ෂමන් සෙනෙවිරත්න නැත්තම්, බිංදු මහත්තයා ය.
මහියංගනය පශ්චාත් ඡන්ද භීෂණයට බයේ ජනතාවට මහියංගනයේ සිට කැලෑව මැදින් බදුල්ලට පැමිණ එදා දිසාපති ප්‍රඥාරත්න බණ්ඩාර පිල්ලේගෙදර හාමුදුරුවන් බැහැ දුටුවේය. දිසාපති පිහිල්ලේගෙදර, මහියංගනයේ හිටපු උපදිසාපති ය. ඒ නිසා මේ අසරණ වූ මිනිසුන් පුද්ගලිකවම දැන හදුණාගෙන තිබෙන්නට ඇත.
එදා බදුල්ලේ එස්.පී. මහත්තයා සෙනරත් නැමැත්තෙකි. දිසාපති, පොලිස් නිලධාරි සෙනරත් කැඳවා විස්තර විමසීය. සෙනරත් මේ නහයට අහන්නේ නැති ‘බිංදු මහත්තයා‘ ගැන විස්තර කියා ඇත.
‘‘මොකා වුනත් කමක් නෑ, දැන් ගිහින් අත්අඩංගුවට ගන්න‘‘ දිසාපති ගේ නියෝගය වුවේය.
මහියංගනයේ පශ්චාත් මැතිවරණ භිෂණය නතර වූවේ පීහිල්ලේගෙදර මහ දිසාපතිට පින්සිදුවන්නටය.
මේ කතාව, 1974 මහියංගන මන්ත්‍රී එඩ්වින් වික්‍රමරත්න හා දිසාපති අබේරත්න ගැනය. මන්ත්‍රීවරයා බදුල්ල දිසාපති කන්තොරුවේ සැලූන් දොර ඇරගෙන කඩා වැදුණේ ඔහු හදිසි වැඩක නිරත වන අතරය. අබේරත්න දිසාපති ට මේ හැසිරීම ඇති කළේ කෝපයකි.
‘‘මම රහස්‍ය වැඩක්, පොඩ්ඩක් එළියට වෙලා ඉන්න‘‘ දිසාපති මහියංගන මන්ත්‍රී එළියේ තැබීය.
බදුල්ලේ දිසාපති/දේශපාලඥ ගැටුම් පුරාණයකි. එහි රසම කතාව 1965 – 1970 එජාප ආණ්ඩුවේ අගමැති ඩඩ්ලි සේනානායක ගේ කෘෂිකර්ම ප්‍රදර්ශනයි.
එදා බදුල්ල දිසාපති, බර්නාඩ් සුසන්ත විජේවීර (සී.සී.එස්.ආර්.) ය. කාෂිකර්ම ප්‍රදර්ශන භුමියට වාහන ඇතුළු කිරීමේ බලපත් නිකුත් කළේ, දිසාපතිවරයා ය. බදුල්ලේ නගරාධිපති නගරාධිපති ප්‍රතාපවත් චරිතයක් වූ, ටියුඩර් විජේසේකර (එජාප) යි. දිසාපති විජේවීර නගාරාධිපතිට වාහන බලපත්‍ර දුන්නේ නැත.
නගරාධිපති කළේ ප්‍රදර්ශනය දවසේ උත්සව භුමියට ලයිට්, වතුර සම්බන්ධතාව විසන්ධි කිරීමය. දිසාපතිට ප්‍රදර්ශනය කරන්න බැරි වුවේය.
මම මේ කථාව මෙතැන ලියන්නේ, එදා පරිපාලන නිලධාරීන් හා දේශපාලනඥයින් හැප්පුණේ ද ගණුදෙනු කළේ ද, කටින් නොව කොන්ද කෙළින් තියාගෙන තම බලය, බල පරිමාව දැනගෙන බව කියන්නටය.
එදා බදුල්ලේ සිටි රාජ්‍ය නිලධාරීන්, තමන්ගේ යටතේ සිටි කාර් ය මණ්ඩලය රකින්නට ද පසුබට වූවේ නැත. 1977 ආණ්ඩුව බලයට පත් වී ප්‍රේමදාස මහතා අගමැති වූවේය. ජයග්‍රහණය සමරා ස්තුති කරන්නට අගමැතිතුමා රට වටේ ගියේය. ආර්. ප්‍රේමදාස මහතා ගේ කාර්යාලය, රැස්වීමේ වාඩිවෙන අනුපිළිවෙල පවා සකස් කළ බව රහසක් නොවේ. අගමැතිතුමා, අගමැති ලේකම් සහ දිසාපති පිල්ලේගෙදර මුල් පිටු තුනේය. එදා බදුල්ලේ එජාප ප්‍රබලයින් වූ පර්සි සමරවීර, කැප්ටන් සෙනෙවිරත්න, සමරවීර වීරවන්නි ඊලගට ය.
දිසාපති කන්තෝරුවේ සැලසුම් අධ්‍යක්ෂ මුදලිගේ ය. දේශපාලන නායක සමරවීර, කුමන හෝ ආරෝවකට මුදලිගේ ගේ ඇගට කඩා පැන ඇත්තේ, 77 ජයග්‍රහණයේ උණුසුමත්, දේශපාලන හයියත් ඇරගනිමිනි.
අගමැති ප්‍රේමදාස බලාගෙන සිටිය දී ම, දිසාපති පීහිල්ලේගෙදර ‘ඔය මොකක් ගැන ද කියන්නේ යැයි‘ දේශපාලනඥයාගෙන් අසා ඇත.
‘‘ඒ ව්‍යාපෘතියට සල්ලි අනුමත කළේ මම. මොකක්ද ප්‍රශ්නේ‘‘ යැයි පිළිතුරු ලැබී ඇත.
එදා බදුල්ලේ මහදිසාපතිවරුන්ගේ හැටි එහෙමය.
රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමති බදුල්ලේ දේශපාලන නායකයා පර්සි සමරවීර ට පීහිල්ලේගෙදර දිසාපතිවරයා කථා කළේ ‘පර්සි‘ කියා ය. දෙදෙනා ඒ තරම් යාළුවෝය. හැබැයි රාජකාරියට ඒ මිත්‍රත්වය බාධාවක් කර ගත්තේ නැත.
1975 දී විතර අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට රටේ දිස්ත්‍රික් සීමා මායිම් වෙනස් කිරීමට උවමනා විය. හසලක කෑල්ලක් බදුල්ලට ඈදීමටත්, ලෝකාන්ත යේ කොටසක් නුවරඑළියට දීමටත් මුලින්ම යෝජනා වූයේ ඒ යුගයේ ය. දිස්ත්‍රික් සීමා වැඩේ මුල් අදියරෙන් ඉදිරියට ගියේ නැත. මේ වැඩේට තමන්ට ඕනෑ විදිහට කර ගන්නට පර්සි සමරවීරත්, ඌවපරණගම පී.එම්.ටී. කරුණාරත්නත් උත්සහ දැරීය. හැබැයි, පිහිල්ලේගෙදර දිසාපති බදුල්ලට, රටට ගැලපෙන විදිහට දිස්ත්‍රික් සීමා ඇන්දා මිස, දේශපාලනඥයින්ට උවමනා විදිහට වැඩ කළේ නැත.
දේශපාලනඥයින් සමඟ සමීපවත්, නීතිගරුකවත් කටයුතු කිරීම පිළිබඳ හොඳම උදාහරණය ඩඩ්ලි ආණ්ඩුවේ හිටපු අධිකරණ ඇමති ෆෙයාලි විජේමාන්න (උත්තර මන්ත්‍රී) හා පිහිල්ලේගෙදර සිද්ධියයි. (කමෙන්ට් තීරුවේ කතාව ඇත.)
ගැටුමෙන් අවුරුදු කිහිපයකින්, ආණ්ඩු මාරුවිය. ෆෙයාලි විජේවර්ධන, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගෙන්, පිහිල්ලේගෙදර බදුල්ලෙන් මාරු කරන්නට ඉල්ලුවේය.
ජේ.ආර්. දිසාපති මාරු නොකර, ‘‘ඉවත් නොකරන්නට කරුණු විමසුවේ ය. පිටු 17 ක ලිපියකින් පිහිල්ලේගෙදර සිද්ධිය ජනාධිපතිවරයාට පැහැදිලි කළේය.
ජේ.ආර්. දිසාපති පිහිල්ලේගෙදර මාරු නොකළ බව මෙය කියවන අපි සියලු දෙනා දැන් දනිමු.
පිහිල්ලේගෙදර දේශපාලනඥයින් සමඟ අනවශ ලෙස ගැටුනේ නැත. එක්ව වැඩ කළා පමණී.
පිහිල්ලේගෙදර ගේ සමකාලීන මහනුවර දිසාපතිවරයා වූවේ, දමුණුපොල මහතා ය. ගම්පොල මන්ත්‍රී ඩබ්ලිව්.පී.බී. දිසානායක මහතාට, දිසාපති දමුණුපොල මාරු කරන්නට අවශ්‍ය වී ජනාධිපති ජේ.ආර්.ට එම ඉල්ලීමක ඉදිරිපත් කර තිබුණි.
මම ඉවත් කරන්නේ නැති දිසාපතිවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පිහිල්ලේගෙදර, අනෙක් කෙනා දමුණුපොල‘‘ යැයි ජේ.ආර්. උත්තර දි තිබුණි.
‘‘තමුසේ කැමති තැනක් හෙයා ගන්නවා’’ යැයි ජේ.ආර්. කියන්නේ එහෙම ලු.
ශුර දේශපාලනඥයින් නිලධාරීන් පිළිබඳ නිසි ඇගයීමක් ඇති පුද්ගලයින් ය. ජනාධිපති ප්‍රේමදාස පදවි ප්‍රාප්තියෙන් පසුව නුවරඑළිය සිනෙසිටා ශාලාවේ දී දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින් අමතමින් වරක් මෙසේ කීවේය.
‘මම යන යන තැන අසරණ මිනිස්සු ප්‍රශ්න ලියාගෙන ලියුම් බරට ඔසවාගෙන එනවා. එහෙම නැති එක දිස්ත්‍රික්කයක් තිබුණා. එතැනට ගියාම මගේ අතට එන්නේ ලියුම් දෙක තුනයි. ප්‍රශ්න සේරම විසඳලා. ජාතියේ අවසනාවකට ඒ දිසාපතිතුමා අකාළයේ මිය ගියා.’’ ප්‍රඥාරත්න බණ්ඩාර පිහිල්ලේගෙදර, නම නොකී නමුත්, ඒ දිසාපතිවරයා කවුදැයි සභාවේ සියළු දෙනා දැන සිටියේය.
ප්‍රේමදාස මැතිතුමා එවැනිම දුර්ලභ සහතිකයක් අප මිත්‍ර ඔස්ටින් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ද ලබාදී ඇත. එය ඔහුගේ ‘මම ඔස්ටින්’ පොතේ ද, අන්තර් ජාලයේ ද ඇත.
2020 සැප්තෑම්බර් පමණ හපුතලේ දී තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා තමන්ට උත්සවයකට ආරාධනා නොකිරීම පිළිබඳව එවකට බදුල්ල දිසාපතිවරියට ප්‍රසිද්ධ රැස්වීමක දී මාධ්‍ය ඉදිරියේ චෝදනා කළේය.
දේශපාලනඥයින් සමඟ ගැටුණු කිසිදු රාජ්‍ය නිලධාරියෙකු, සාර්ථක පරිපාලකයෙකු වී නැත.
දේශපාලනඥයින් ගේ පස්සෙන් වැටුණු කිසිවෙකු ද, අපමණ නින්දා පරිභවයට ලක් වුණා මිස, සාර්ථක පරිපාලකයෙකු හෝ මතක හිටින මිනිසෙකුවත් වී නැත.
මහනුවර පුටු-බංකු කතාව ඒ සදාතන සත්‍යයේ තවත් සාක්ෂියක් පමණී.

