චීන ලෙඩ දෙන මුල්ලේරියා රෝහලේ PCR යන්ත්‍රය

මුල්ලේරියාව ‌රෝහලේ ඇති PCR පරීක්ෂණ යන්ත්‍රය ගැන රටේම කථාබහක් පහුගිය දිනවල ඇති වුයේ එහි ඇති වූ කාර්මික දෝෂය නිසාය. දිනකට PCR සාම්පල පරීක්ෂණ 1500 ක් පමණ සිදු කෙරන අතර, එම යන්ත්‍රයේ හටගත් දෝෂය නිසා පරීක්ෂණ 20,000 ක පමණ  ප්‍රතිඵල ලැබීම ප්‍රමාද විය. ඒ ඔක්තෝම්බර් මාසයේ අග දිනවලදීය.

මෙරට තාක්ෂණ නිලධාරීන් එම යන්ත්‍රය සැකසීමට උත්සහ කළද එය සාර්ථක වුයේ නැත. මේ නිසා අවසානයේ රජයට සිදුවුයේ මෙම PCR යන්ත්‍රය ලෝක බැංකු ආධාර යටතේ ලැබුණු   චීනයේ සහාය ලබා ගැනීමටය.

ඒ අනුව මෙරටින් විශේෂ ගුවන්යානයක් චීනයට ගොස් එහි චීන තාක්ෂණ නිලධාරීන් දෙදෙනෙකු රැගෙන ඔක්තෝම්බර් 30 වෙනිදා මෙරටට පැමිණියහ. ඔවුන්  නොවැම්බර් 2-3 වන විට මෙම යන්ත්‍රය යළි සකස් කළහ.

එය සකසා යළි මසක් ගත වීමටත් ප්‍රථම යළි මේ  PCR යන්ත්‍රය අක්‍රීය වී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටින්නේ මේ වන විට මෙම යන්ත්‍රයෙන් දිනකට සාම්පල පරික්ෂා කළ හැක්කේ 75 ක් පමණ බවය. මෙම යන්ත්‍රය අක්‍රීය වීම නිසා කළුතරට යැවු PCR සාම්පල පරීක්ෂණ 1000 ක ප්‍රතිඵල තවමත් ලැබි නොමැති බවද පෙන්වා දෙන එම සංගමය කියා සිටින්නේ මුල්ලේරියාව රෝහලේ ඇති PCR පරීක්ෂණ යන්ත්‍රය නිසි කලට අලුත්වැඩියා සිදු කළේ නම් මෙම තත්ත්වය මතු නොවන බවය.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ මෙම යන්ත්‍රයට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වල ප්‍රශ්නයක් නිසා මුල්ලේරියාව රෝහලේ PCR පරීක්ෂණ යන්ත්‍රය අක්‍රිය වී ඇති බවය. මෙම ද්‍රව්‍ය චීනයෙන් ඇණවුම් කර ඇති බවත් ඒවා හොංකොං හරහා මෙරටට ගෙන්විමට නියමිතව ඇතැයිද අද හෝ හෙට එම ගුවන් යානය පැමිණෙනු ඇතැයිද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

-ශානිකා-

Social Sharing
නවතම