නිල්පාට දරුවන් උපදින්නට පටන් අරන් – අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

රසායනික පොහොර අවභාවිතය නිසා නොරොච්චෝලේ ප්‍රදේශයේ නිල්පාට දරුවන් උපදින්නට පටන් ගෙන ඇති බවත්, වෙනත් රටවල් රසායනික පොහොර හෙක්ටයාරයකට කිලෝ 50ක් පමණ යොදන විට අපි කිලෝ 300ක් භාවිතා කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත ගැටලු සොයා බැලීම සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (15) දා  පැවති ‍රැස්වීමක දී ය.

ඇළහැර ප්‍රාදේශීය සභාවේ සභාපති ජානක නලින් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය. ගොවීන්ගේ අවශ්‍යතාව සඳහා පොහොර නොලැබෙන බැවින් වෙළඳපොලෙන් රුපියල් 1000 ට 1500 හෝ මිලදී ගැනීමට කුමක් හෝ වැඩපිළිවෙලක් සැකසිය හැකි දැයි එතෙම ඇමතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඇමතිවරයා මෙසේ කීය.

“මේ පොහොර අවභාවිතය ගැන මිනිස්සුන්ගේ ඔලු වෙනම හදන්න ඕන. මම වෙනම මාධ්‍ය වැඩසටහනක් මේකට කරනවා මේ ගොවියා දැනුම්වත් කරන්න. නොරොච්චෝලේ උපදිනවා දැන් නිල් පාට දරුවෝ.  යූරියා ගහලා ගහලා දැන් ඒවා වතුරට මිස්‍ර වෙලා .රසායනික පොහොර අවභාවිතය ඉතාම භයානක දෙයක්.

වෙන රටවල් වල හෙක්ටයාරයකට කිලෝ 50යි රසායනික පොහෝ භාවිතා වන්නේ. අපේ රටේ කිලෝ 300. නමුත් ඒ රටවල නිෂ්පාදනය අපිට වඩා තුන්ගුණයක් වැඩියි. මේ හරි භයානක වැඩක්. සම්පූර්ණයෙන් නැතිවෙන වැඩක් මේ යන්නේ. ඒ නිසා මානසික වශයෙන් ගොවියාව හදන්න ඕන.

අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ ඉඳලා ගොවීන්ගෙන් වී අලෙවි මණ්ඩලය හරහා වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලට ගන්න. පොහොර සහනාධාරය ලබන හැම ගොවියෙක් ම කිලෝ 1000ක් හෙක්ටයාරයකින් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා රජයේ සහතික මිලට. පොහොර සහනාධාරය දෙන්නේ නෑ. අපට වී දෙන්නේ නැත්නම්. අපි බොහොම තදට ඉන්නවා.

වී අලෙවි මණ්ඩලයට පොහොර සහනාධාරය ලබා ගත් සෑම ගොවියෙක් ම හෙක්ටයාරයකින් දැනට ඒ අය කිලෝ 5000ක් නිෂ්පාදනය කරනවා. එයින් අපට 1000ක් ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ළග මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක්  ආරක්ෂිත සන්චිත විදිහට තියෙනවා. මේ වන විට වී අලෙවි මණ්ඩලයේ සියලුම ගබඩා අලුත්වැඩියා කරමින් යනවා .ඒ සඳහා මිලියන 100ක් වෙන් කළා.

ඒ වගේම අපේ අවධානය යොමුවෙලා තියෙනවා පොහොර ලබා දීමේ දී සෑම ගොවියෙකුටම පස පිළිබඳව පරික්ෂා කර බලපු කාඩ් පතක් ලබා දෙන්න..ඒ යටතේ නයිට්‍රජන් පසේ වැඩිපුර තියෙන ප්‍රදේශවලින් සියයට 25ක් විතර නයිට්‍රජන පොහොර අඩු කරගන්න පුලුවන්. ෆොස්පරස් පොස්පේට් අවශ්‍ය නෑ.

බන්ඩාරවෙල බදුල්ල පැත්තේ මේවා තියෙනවා. අනවශ්‍ය ලෙස පොහොර දීම නවතනවා. සැම ගොවියෙකුටම පොහොර නිකුත් කරන්න කලින් තමන්ගේ ගොවි බිමේ පස පිළිබඳව වාර්තාවක් දෙනවා. ඒ අනුව තමයි පොහොර නිකුත් කරන්නේ.”

මෙම අවස්ථාවට ප්‍රසන්න රණතුංග,උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් ,රොෂාන් රණසිංහ,සිරිපාල ගමලත්,විමලවීර දිසානායක,මොහාන්ද සිල්වා ඇතුළු මැති ඇමතිවරුන් කිහිපපලක් ද එක්ව සිටිය හ.

බණ්ඩාර මුදියන්සේ -පොලොන්නරුව

Social Sharing
නවතම