
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ස්ත්‍රී පුරුෂ සංයුතිය යනු, ස්ත්‍රී පුරුෂභාවය අනුව ජනගහනය තුළ පුද්ගලයින් බෙදී ගොස් ඇති ආකාරයයි.
ඒ අනුව, මෙවර සංගණනයේදී වාර්තා වන ස්ත්‍රීන් සංඛ්‍යාව, පුරුෂ සංඛ්‍යාවට වඩා 757,112කින් වැඩි බවට හඳුනා ගෙන තිබේ. ප්‍රතිශතයක් ලෙස දැක්වීමේදී ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 51.7%ක් ස්ත්‍රීන් වන අතර 48.3ක් පුරුෂයින් වේ.
2012 සංගණනය සමග සංසන්දනය කිරීමේදී මෙවර නාගරික හා ග්‍රාමීය අංශවල පුරුෂ ප්‍රතිශතයේ අඩුවීමක් දක්නට ලැබී ඇති අතර වතු අංශයේ වැඩි වීමක් දක්නට ලැබී ඇත.
පුමිතිරි අනුපාතය ඒකක 0.5කින් පහළට
‘පුමිතිරි අනුපාතය’ (ස්ත්‍රී පුරුෂ අනුපාතය) යනු, සෑම කාන්තාවන් 100 දෙනෙකුට ම සිටින පිරිමින් සංඛ්‍යාව වේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන පවසන පරිදි එය වැදගත් ජන විකාශ දර්ශකයකි. එම අනුපාතය සමාජ හා ආර්ථික අංශ කෙරෙහි සහ දිගුකාලීන ජනගහන ස්ථාවරත්වයට බලපාන සාධකයක් බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව, පුමිතිරි අනුපාතය 100ට වැඩි වන විට පුරුෂ සංඛ්‍යාව ස්ත්‍රී සංඛ්‍යාව අභිබවා යාමක් සහ 100ට අඩු වන විට ස්ත්‍රී සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාව අභිබවා යාමක් පෙන්නුම් කෙරේ.
2012 සංගණනයේදී වාර්තා වී ඇති පුමිතිරි අනුපාතය 93.8 වන අතර 2024 සංගණනයේදී වාර්තා වී ඇති පුමිතිරි අනුපාතය 93.3කි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ, ඒ අනුව 2012 සංගණනයේ සිට 2024 සංගණනය දක්වා එය ප්‍රතිශත ඒකක 0.5ක අඩුවීමක් පෙන්නුම් කරයි.
2024 සංගණනයේදී අනාවරණය වී ඇත්තේ, දිස්ත්‍රික්ක අනුව ගත් කල රටේ දිස්ත්‍රික්ක 25 ම පුමිතිරි අනුපාතය 100ට වඩා අඩු බව ය. එනම්, සෑම දිස්ත්‍රික්කයකින් ම කාන්තාවන් සංඛ්‍යාවට සාපේක්ෂව පිරිමින් අඩු සංඛ්‍යාවක් වාර්තා වන බවයි.
මෙවර සංගණනයේදී වැඩි ම පුමිතිරි අනුපාතයක් පෙන්නුම් කර ඇත්තේ, මොනරාගල දිස්ත්‍රික්කයෙනි. එම අනුපාතය 97.9ක් ලෙස සටහන් වී ඇත. දෙවනුවට වැඩි අගයක් එනම්, 97.3ක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් පෙන්නුම් කර තිබේ.
අඩු ම පුමිතිරි අනුපාතය වාර්තා වී ඇත්තේ, නැගෙනහිර මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. එය 88.0ක් ලෙස සටහන් වී ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2012 සංගණනය හා සැසඳීමේදී මෙවර මාතලේ, ගාල්ල, මාතර, යාපනය, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පමණක් පුමිතිරි අනුපාතයේ වැඩි වීමක් පෙන්නුම් කරන බව ය.
මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල එම අනුපාතයේ වෙනසක් වී නොමැති අතර අනෙක් සියලු දිස්ත්‍රික්කවල අඩු වීමක් වාර්තා වී තිබේ.
2024 සංගණනයේ දත්ත අනුව, ශ්‍රී ලංකාවේ පුමිතිරි අනුපාතය 93.3ක් වුව ද වයස් කාණ්ඩ අනුව පුමිතිරි අනුපාතය සැලකූ විට වයස අවුරුදු 0 සිට 19 අතර ඇති වයස් කාණ්ඩවල පුමිතිරි අනුපාතය 100ට වඩා ඉහළ අගයක් ගන්නා බව පෙනී යන්නේ යැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ ය.
එසේ වුව ද අවුරුදු 40ට වැඩි සියලු ම වයස් කාණ්ඩ සඳහා, එනම් වයස්ගත වීමත් සමග පුමිතිරි අනුපාතය ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කර ඇත. විශේෂයෙන් වයස අවුරුදු 70 හා ඊට වැඩි වයස් කාණ්ඩය, අඩු ම පුමිතිරි අනුපාතය වන 69.8ක අගය පෙන්නුම් කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
– BBC-
