ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයාගේ සහ බිරිඳගේ ආභරණ මංකොල්ලකයි…

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝක ප්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරය තුළ තිබූ නැපෝලියන් අධිරාජ්‍යයාට සහ ඔහුගේ බිරිඳට අයත් ආභරණ ඊයේ ( 19 ) උදෑසන සොරුන් විසින් මංකොල්ලකා තිබේ.

සොරකම් කරන ලද භාණ්ඩවල වටිනාකම තක්සේරු කළ නොහැකි බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නූනෙස් පවසයි.

ඉදිකිරීම් කම්කරුවන් ලෙස වෙස්වලාගත් කිහිප දෙනෙකු, ප්‍රංශ ඔටුනු ආභරණ ඇතුළු අනෙකුත් කෞතුක වස්තු තැන්පත් කර ඇති කෞතුකාගාරයේ ඇපලෝ ගැලරියට ජනේලයක් බිඳ කඩා වැදී, ප්‍රදර්ශන පෙට්ටි කඩා, නැපෝලියන් අධිරාජ්‍යයාට සහ ඔහුගේ බිරිඳට අයත් ආභරණ සොරකම් කර තිබේ.

අවම වශයෙන් මිල කළ නොහැකි උරුමයක් සහ ඓතිහාසික වටිනාකමක් ඇති ආභරණ නවයක්වත් මෙම කොල්ලයේදී පැහැරගෙන ගොස් ඇති බව අමාත්‍යවරුන් දෙදෙනෙක් පවසා සිටී.

මෙම මංකොල්ලයට අවම වශයෙන් සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති බව පෙනෙන්නට ඇතැයි අමාත්‍ය ලෝරන්ට් නූනෙස් පවසයි.

ගොඩනැගිල්ලට ඇතුළු වීමට ඔවුන් ඉදිකිරීම් ඉණිමඟක් භාවිතා කළ බව පෙනෙන්නට ඇති බවත්, යාන්ත්‍රික සෝපානයක් හරහා ඇපලෝ ගැලරියට කඩා වැදී ඇත්තේ දෙදෙනකු බවත්, එක් අයෙකු පිටත රැඳී සිට ඇති බවත් ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පොලිස් ඒකකයක් වන බැන්ඩිට්‍රි මර්දන බලකායේ විමර්ශකයෙකු ප්‍රකාශ කොට තිබේ. සොරුන්, ආභරණ ප්‍රදර්ශනය කර තිබූ පෙට්ටි විවෘත කිරීමට කුඩා දම්වැල් කියත් භාවිතා කළ බව පරීක්ෂකයින් පවසයි.

මෙම මංකොල්ලයට ගත වී ඇත්තේ මිනිත්තු හතක් පමණ වූ ඉතාමත් කෙටි කාලයකි.

අද ( 19 ) උදෑසන සිදු වූ මෙම මංකොල්ලයෙන් පසු පැරිසියේ ලූවර් කෞතුකාගාරය තාවකාලිකව වසා දමා ඇත. සොරුන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු වෙමින් පවතී.

සුනිල් ගාමිණී ජයලත්ගේ

Social Sharing
නවතම විදෙස්