
ගාසා තීරයට තිරසර විසඳුමක් ලබාදීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු 20කින් සමන්විත ගාසා සාම සැලැස්ම මත දහස් සංඛ්‍යාත පලස්තීනුවන්ට ජීවිත අහිමි කරමින් දෙවසරක් පුරා ඇදී ගිය කුරිරු යුද්ධය අවසන් කිරීමේ පළමු පියවර ලෙස සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟතාවට පැමිණ සිටී.
වසර 2023 ඔක්තෝබරයේ 7 වැනිදා ගාසා යුද්ධය ආරම්භ වූ දිනයේ සිට හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලයට සියලු ආකාරයෙන් සහාය ලබාදුන් අමෙරිකාව යුද්ධය අවසන් කිරීමට ඍජුවම මැදිහත් වීම ජාත්‍යන්තර ප්‍රසාදයට ද හේතු වී තිබේ.
ගාසා තීරයට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟතාව පළවූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපතිවරයාගේ ගාසා සාම සැලසුම් යෝජනාවලිය යටතේ පසුගියදා ඊජිප්තුවේදී දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවෙන් පසු මේ ප්‍රකාශය නිකුත් කර ඇති අතර, සටන් විරාමය සඳහා ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය යුද කැබිනෙට්ටුවේ අනුමැතිය ඊයේ පස්වරුවේ ලබාගැනීමට නියමිතව සිටි බව ද වාර්තා වේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු සටන් විරාමය ප්‍රකාශයට පත් කරනු ඇතැයිද, අනතුරුව දෙපාර්ශ්වය අතර ප්‍රාණ ඇපකරුවන් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමට ආසන්නවීමත් සමඟ ගාසා තීරයට ආධාර ලබාගැනීමට එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගතයන් සඳහා වන සහන සේවා ඒජන්සිය ගාසා තීරයට ආධාර ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්රජවෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. එම ඒජන්සියේ ප්‍රධානී පිලිප් ලසර්නි සඳහන් කර ඇත්තේ ඖෂධ සහ මූලික ආහාර පහසුකම් දැනටමත් සූදානම් කර ඇති බවය. ඉදිරි මාස තුන සඳහා ගාසා තීරයේ සමස්ත ජනගහනයට ප්‍රමාණවත් ආහාර සූදානම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
යුද ගැටුම් පැවැති කාලසීමාවේදී ඊශ්‍රායල රජය විසින් වසා දමනු ලැබූ ගාසා තීරයට ආධාර ලබාදීමේ සියලු මාර්ග සටන් විරාමය අතරතුරදී නැවත විවෘත කිරීමට නියමිතව ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ මානුෂීය මෙහෙයුම් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින බවය.
