පහත තිබෙන්නේ මෙම (2025) වසරේ ජූනි මාසය අවසානයේදී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයයි.
- රජයේ විදේශ ණය – ඩොලර් මිලියන 36,609
- මහ බැංකුවේ විදේශ ණය – ඩොලර් මිලියන 4,378
- අනෙකුත් බැංකු වල විදේශ ණය – ඩොලර් මිලියන 5,158
- අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ ණය – ඩොලර් මිලියන 9,924
- රටේම විදේශ ණය – ඩොලර් මිලියන 56,069
රටේ විදේශ ණය කියන්නේ ලංකාවේ තිබෙන විදේශිකයින් සතු වත්කම් වලින් කොටසක්. ලංකාවේ ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් විදේශිකයින්ගෙන් ලබාගෙන තිබෙන ණය රටේ විදේශ ණය වල කොටසක්. රටේ විදේශ ණය රටේ විදේශ බැරකම් වල කොටසක්. එහෙත් රටේ විදේශ බැරකම් වලට, ඒ කියන්නේ ලංකාවේ තිබෙන විදේශිකයින් සතු වත්කම් වලට, අයත් වන්නේ රටේ විදේශ ණය පමණක් නෙමෙයි.
විදේශ ණය වලට අමතරව වෙනත් විදේශ බැරකම්ද තිබෙනවා. ඒ විදේශිකයින්ට අයිති ලංකාවේ තිබෙන ආයෝජනයි. විදේශ ණය වෙනුවෙන් වගේම විදේශ ආයෝජන වෙනුවෙන්ද වාර්ෂිකව ලැබෙන ප්රතිලාභ විදේශිකයින් විසින් රටින් රැගෙන යනවා. විදේශ බැරකම් වැඩි වන තරමට මේ විදිහට වාර්ෂිකව රටින් එළියට යන විදේශ විණිමය ප්‍රමාණයද ඉහළ යනවා. ඒ වගේම, විදේශිකයින්ට තමන්ගේ ආයෝජනද රටෙන් ආපසු රැගෙන යා හැකි බැවින්, රටේ පැත්තෙන්, විදේශ ණය වල වගේම විදේශ ආයෝජන වලද අවදානමක් තිබෙනවා.
- රටේ විදේශ ණය ප්‍රමාණය – ඩොලර් මිලියන 56,069
- ණය නොවන විදේශ බැරකම් ප්‍රමාණය – ඩොලර් මිලියන 11,406
- රටේ මුළු විදේශ බැරකම් ප්‍රමාණය – ඩොලර් මිලියන 67,475
මේ වගේම, රටේ විදේශ වත්කම් කියා කියන්නේ මහ බැංකුවේ තිබෙන, අපි නිතරම කතා කරන, නිල විදේශ වත්කම් ප්‍රමාණය පමණක් නෙමෙයි. රටේ කවුරු හෝ පුද්ගලයෙක් හෝ ආයතනයක් සතුව විදේශ වත්කම් තිබේනම් ඒවා රටේ විදේශ වත්කම් වල කොටසක්. නමුත් හදිසියකදී මහ බැංකුවට ප්‍රයෝජනයට ගත හැක්කේ මහ බැංකුව සතු විදේශ වත්කම් පමණයි. ඒ ගැන වැඩිපුර අවධානයක් යොදවන්නේ ඒ නිසා.

පහත තිබෙන්නේ මෙම වසරේ ජූනි මාසය අවසානයේදී ලංකාවේ මුළු විදේශ වත්කම් ප්‍රමාණයයි.
- රජයේ විදේශ වත්කම් – නැත
- මහ බැංකුවේ විදේශ වත්කම් – ඩොලර් මිලියන 6,081
- අනෙකුත් බැංකු වල විදේශ වත්කම් – ඩොලර් මිලියන 5,670
- අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ වත්කම් – ඩොලර් මිලියන 3,502
- රටේම විදේශ වත්කම් – ඩොලර් මිලියන 15,254
මේ අනුව පෙනෙන පරිදි, රටේ විදේශ බැරකම් ඩොලර් 100කට විදේශ වත්කම් තිබෙන්නේ ඩොලර් 22.6ක් පමණයි. ආර්ථික අර්බුදයට පෙර, 2022 මාර්තු අවසානයේදී, මෙම අනුපාතය 13.5% දක්වා පහත වැටුණා.
ඩොලර් 50ක් අතේ තියාගෙන ඩොලර් 100ක රෝලක් ගහන එක අමාරුවෙන් හරි කරන්න පුළුවන්. නමුත් ඩොලර් 13ක් අතේ තියාගෙන ඩොලර් 100ක රෝලක් ගහන්න බැහැ. ඒ වගේම එහෙම බැහැ කියන එක කාට වුනත් පැහැදිලිව පේනවා. වත්කම් බැරකම් අනුපාතය ඒ තරමටම අඩු වූ විට ආර්ථිකයක් කඩා වැටෙන එක අහන්න දෙයක් නෙමෙයි.
පහත තිබෙන්නේ 2022 මාර්තු අවසාන වන විට පැවති තත්ත්වයයි.
විදේශ බැරකම්:
- රජයේ විදේශ බැරකම් – ඩොලර් මිලියන 26,522
- මහ බැංකුවේ විදේශ බැරකම් – ඩොලර් මිලියන 5,923
- අනෙකුත් බැංකු වල විදේශ බැරකම් – ඩොලර් මිලියන 6,815
- අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ බැරකම්- ඩොලර් මිලියන 20,526
- රටේම විදේශ බැරකම් – ඩොලර් මිලියන 59,786
විදේශ වත්කම්:
- රජයේ විදේශ වත්කම් – නැත
- මහ බැංකුවේ විදේශ වත්කම් – ඩොලර් මිලියන 1,917
- අනෙකුත් බැංකු වල විදේශ වත්කම් – ඩොලර් මිලියන 3,441
- අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ වත්කම් – ඩොලර් මිලියන 2,715
- රටේම විදේශ වත්කම් – ඩොලර් මිලියන 8,073
මේ අනුව පෙනෙන පරිදි, මේ වන විට රටේ විදේශ වත්කම්, අර්බුදය කාලයේ පැවති තත්ත්වයට සාපේක්ෂව, ඩොලර් බිලියන 7කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එහෙත් ඊට සමානව රටේ විදේශ බැරකම්ද ඉහළ ගොස් තිබෙනවා.
ඩොලර් 22ක් අතේ තියාගෙන වුනත් ඩොලර් 100ක රෝලක් ගහන්න අමාරුයි. ලංකාව දැන් ඒ වැඩේ කරන්නේ ඉන්දියාවේ, චීනයේ සහ මූල්‍ය අරමුදලේ උදවුවෙන්. ඒ වගේම ණය ප්‍රතිව්‍යුගත කරගත්ත නිසා.
කෙසේ වුවත්, මේ වන විට, මහ බැංකුව හා වාණිජ බැංකු සතුව ඔවුන්ගේ ණය ප්‍රමාණය ඉක්මවන විදේශ වත්කම් තිබෙනවා. එහෙත්, රජය සතුව හා අනෙකුත් ආයතන හා පුද්ගලයින් සතුව ඔවුන්ගේ විදේශ බැරකම් වලට සමානව විදේශ වත්කම් නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස රටේ විදේශ වත්කම් හා බැරකම් සැලකූ විට ඩොලර් මිලියන 52,220ක හිඟයක් තිබෙනවා. වසරකට ඩොලර් බිලියන 2 බැගින් ඉතිරි කර ගත්තත්, මේ හිඟය පියවා ගන්න වෙන්නේ 2050 පමණ වෙද්දීයි.

