
-දිනේෂ් සමරකෝන්-
දරුවන්ට දඬුවම් පැමිණවීම සහ දරුවන් වධ හිංසාවට ලත් කිරීම සමාන නොවන අතර, දරුවන් වධ හිංසාවට ලක් කිරීම වැළැක්වීමේ අරමුණින් දරුවන් වධ හිංසාවට පැමිණවීම පිළිබඳ පනත ගෙන ඒමට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
එසේ නොමැතිව ගුරුවරුන්, මවුපියන්, වැඩිහිටියන් වැරැදිකරුවන් කර සිරගත කිරීමේ අරමුණින් මෙම පනත ගෙන ඒමට කටයුතු නොකළ බවද, අග්‍රාමාත්‍ය වරිය පවසයි.
දරුවන් වධ හිංසාවට පැමිණ වීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ආවා දැන් මේ පනත ගැන විවිධ මතිමතාන්තර, වාද විවාද බොහෝමයෙන් ඇතිවෙලා තිබෙනවා මේ වෙලාවේ මේ පනත ගැන සාකච්ඡාව ඇති වන විදිය ගැන අපි ටිකක් පරිස්සම් විය යුතුයි. මේ සංශෝධනය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ හිංසනයට එරෙහි පනතක් මිසක්, කිසිසේත්ම ශික්ෂණයට එරෙහි පනත් නෙවෙයි. මේ වෙලාවේ ඒක අර්ථකතනය වෙන්නේ වැරැදි විධියකටයි.
මේ පනත නිසා දැන් අපිට දරුවන්ට ඕන ඕන විදියට ඉන්න දෙන්න පුළුවන්, අපිට කිසිසේත්ම දරුවන්ව ශික්ෂණයට භාජන කරන්න බැහැ, දරුවන්ට දඬුවම් දෙන්න බැහැ. මොකක්වත් කරන්න බැහැ කියලා ආදී වශයෙන් වැරැදි නීමත සමාජයේ යනවා.
දරුවන් වැරැදි වැඩ කළොත්, වැරැදි විදියට සමාජය තුළ හැසිරුණොත් ඒක නිවැරැදි කරන්න අපි මැදිහත් වෙනවා. වැඩිහිටියන් ලෙස දරුවන් නිවැරැදි මගට ගන්න මව්පියන්, ගුරුවරුන් අපි සියලු දෙනාම මැදිහත් වෙනවා ඒ නිසා මේක ගුරුවරුන්, මව්පියන්, වැඩිහිටියන් වැරැදිකරුවන් කරලා හිරේ ගිහින් දන්න ගන්නා උත්සාහයක් නෙවෙයි.
සිරගෙවල් පුළුවන් කරම් හිස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වැරැදි කරන මිනිස්සු අඩු කරලා ඒ වගේම මේ පනත අපි ඉලක්ක කරලා තිබෙන්නේ පාසල තුළ විනය පවත්වාගෙන යාමට එරෙහි වීමට කියන එකත් වැරැදි අර්ථකථනයක්.
පාසල තුළ නීති රීති තිබෙනවා, සංස්කෘතීන් තිබෙනවා. ඒවා අනුගමනය කරන්න ඕනෙ. ඒවා කඩ කළොක් දඬුවම් ලැබෙනවා, නමුත් අපි හිතන්නේ නැ දඬුවම් දීමයි, වධ හිංසා කිරීමයි සමානයි කියලා. මෙය දෙකක්. ඒක අපි තේරුම් ගන්න අවශ්‍යයි.
අපි සමාජයක් ලෙස හිතනවා නම් දඬුවම් දෙන්න වදහිංසා පමුණුවන්න ඕන කියලා ඒක අශිෂ්ඨ සම්පන්න ආකල්පයක්. අපේ රටේ බහුතරය එහෙම හිතන්නේ නැ. ඒ නිසා කවුරුවත් කලබල විය යුතු නෑ, මෙතන අපේ රටේ සංස්කෘතියක්, සම්ප‍්‍රදායවලටවත්, අපේ රටේ තිබිය යුතු විනය, නීතියට ගරු කිරීම වගේ අදහස් වලට පටහැනි දේවල් නෙවෙයි මෙතන කරන්නේ.
දරුවන්ට ආදරයෙන් පිරි ලෝකයක් බිහි කරන්නත්, දරුවන්ට නීති ගරුක පුරවැසියන් ලෙස නීතියට ගරු කරන සහ සහකම්පනය තිබෙන ප්රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන දුරු පරපුරක් බිහි කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකට අවශ්‍ය නීති සම්පාදනය කරන්න පමණක් නෙවෙයි. එවැනි පරිසරයක් හදන්න අවශ්‍ය අධ්‍යාපනය, සමාජ සුරක්ෂිතභාවය යන සියල්ල දියුණු කරමින් යන්නේ යැයිද කීවාය.
අග්‍රාමාත්‍ය වරිය මේ බව සඳහන් කලේ ඊයේට (01) යෙදී තිබුන ලෝක ළමා දිනයට සමගාමීව අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අතරතුරය..
