ප්‍රතිපත්ති ප්‍රකාශන අධීක්ෂණය පිළිබඳ පළමු අර්ධ-වාර්ෂික වාර්තාව එළිදැක්වේ

පැෆ්රල් සංවිධානය සහ මාර්තු 12 ව්‍යාපාරය විසින් “පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්”, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සම්බන්ධ පළමු අර්ධ-වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ උත්සවයක් ඊයේ (26) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම වාර්තාව වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ගෙවුණු පළමු මාස 06 ක කාල සීමාව තුළ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සිදු කෙරුණු අධීක්ෂණ ක්‍රියාවලියක මුල් අදියරේ ප්‍රතිඵලයකි.

ප්‍රවීණ අධීක්ෂණ හා ඇගයුම් උපදේශක එම්. තිලකරාජ් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම ඇගයීම් කටයුත්ත සිදුකරනු ලැබූ අතර, එහිදී එම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ක්‍රියාකාරකම් (පොරොන්දු) 1333 ක් අන්තර්ඝත බවටත්, එම පොරොන්දු, ප්‍රජා, සමාජ, ආර්ථික සහ ආණ්ඩුකරණ යන ප්‍රධාන අංශ හතරක් ඔස්සේ විශ්ලේශනයට ලක්කොට ඇත. මේ සම්බන්ධ  ප්‍රධාන ඉදිරිපත් කිරීම එම්. තිලකරාජා මහතා විසින් සිදුකරන ලදී.

අනතුරුව මෙම  අධීක්ෂණ වාර්තාව නිල වශයෙන් එළිදැක්වීම සිදුවූ අතර,  මාර්තු 12 සම කැඳවුම්කරු සහ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා වෙත පළමු වාර්තාව පිළිගැන්වීය. අනතුරුව මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරුවන් විසින් පැමිණ සිටි පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙත මෙම  වාර්තාව පිළිගන්වන ලදී.

වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කරමින් අධීක්ෂණ  හා ඇගයීම් කණ්ඩායම විසින් හඳුගෙන තිබූ අංශ හතර ඔස්සේ විද්වත් සංවාදයක් පැවැත්වුණු  අතර, ශ්‍රී ලංකා නීති විද්‍යාලයීය විදුහල්පති ජනාධිපති නීපතිඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස්, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්යා ආරියරත්න, කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය අනූෂා එදිරිසිංහ හා ඇඩ්වකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඊට දායකත්වය සැපයීය.

අදාල වාර්තාව පහත,

https://drive.google.com/drive/u/0/folders/1gfRlO18gsYHjBLjgROHfchK8S3_X2efW

https://web.facebook.com/share/v/1C6segQuAp/

 

Social Sharing
අවකාශය නවතම