ගර්භනී හා කුඩා දරුවන් සිටින හෙදියන්ටත් නිවාඩු ඉල්ලයි.

අද වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 14,000 ක් ඉක්මවා ගොස් සිටින අතර මරණ 36 ක් වාර්තා වී ඇත.

කොරෝනා අවදානම මධ්‍යයේ සේවයේ නියැලි සිටින ගර්භනී හා කුඩා දරුවන් සිටින හෙද නිලධාරීන් සඳහා වැටුප් සහිත විශේෂ නිවාඩු ලබා දෙන ලෙස සමස්ත ලංකා හෙද සංගමය මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ලිඛිතව ඉල්ලා සිටියි.

මෙරට 38000 ක් පමණ  හෙද සේවයේ යෙදෙන අතර ඉන් බහුතරයක් කාන්තාවන්ය. මේ වන විට රටපුරා පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වසංගතය හමුවේ රටේ බහුතරයක් පීඩාවට පත්ව සිටින බවත් මෙයින් වඩාත්ම අපසුතාාවයට පත්ව සිටින්නේ කාන්තාවන් බවද සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙයි.

මෙහිදී දිවා රෑ රෝහල් වල සේවය කරමින් සිටින ගර්භනී සහ වයස අවුරුදු  02 ට අඩු කුඩා දරුවන් සිටින හෙද නිලධාරිනියන් සඳහා වැටුප් සහිත විශේෂ නිවාඩු මේ දින වල ලබා දෙන ලෙස සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති S.B මැදවත්ත මහතා විසින් මෙම ලිඛිත ඉල්ලීම කර ඇත.

මේ අතර ඊයේ (09) දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේද සිටින ගර්භනී හා වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටිනා නිලධාරිනියන්ට විශේෂ නිවාඩුවක් ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නිතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබුණි.

-ශානිකා-

Social Sharing
නවතම