කොරෝනා නිසා සියදිවි නසා ගැනීම් වැඩි වෙලාද?

කොවිඩ් ආසාදිත බවට සැක සහිත හෝමාගම  ප්‍රදේශයේ මවක් කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලු කිරිම නිසා සිත් තැවුලට පත් වු ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා නිවෙස තුලම සියදිවි නසාගෙන තිබුණේ ඉකුත් 30 දාය. එමෙන්ම මාතලේ, යටවත්ත ප්‍රදේශයේ තරුණයෙකු කොළඹ රැකියාව කර කොරෝනා නිසා ගමට ගිය අවස්ථාවේ ගමේ පුද්ගලයින් ඔහුට කොරෝනා අරන් ආ බවට ඇනුම්පද පැවසිම නිසා එකී තරුණයාද සියදිවි නසාගෙන තිබුණේය.

මේ අතර පානදුර ප්‍රදේශයේ තරුණයෙකු නිවෙස තුල ගෙල වැල ලාගෙන සිටියදී පොලිසියට හමු වුයේ පහුගිය සතියේය. ඔහුගේ PCR පරීක්ෂණයක් කළ විට ඔහු කොරෝනා රෝගියෙකු බව අනාවරණය විය. මොහු තමන්ට කොරෝනා වැලඳී ඇති බවට සැක කර ඒ බියට ගෙලවැල දා ගන්න ඇති බව මෙහිදී පොලිසිය සැක පළ කරනු ලැබිය.

ජා-ඇල, ඒකල ප්‍රදේශයේ හැත්තෑ දෙහැවිරිදි කාන්තාවක් ගෙලවැලලාගෙන තිබුණේ පහුගිය සති අන්තයේය. ඒ ඇගේ බෑණාට හා මිණිපිරියට කොරෝනා වැළඳීම නිසා සිත්තැවුලට පත්වය. මෙම කාන්තාවගේ බෑණා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන් ප්‍රවාහනය කරන රථයක රියදුරෙකු විය.

මේ අතර කළුතර ලංගම ඩිපෝවේ සේවය කළ 56 හැවිරිදි රියදුරෙකු ඊයේ (08) අලුයම නිවෙස  අසල ගසක ගෙලවැලලාගෙන මිය ගොස් ඇත. මොහු මතුගම සිට නාගොඩ රෝහලට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කර ඇති අතර පෙරේදා සැල වී ඇත්තේ එම බස් රථයේ ගිය අයෙකුට කොරෝනා වැලඳී ඇති බවය. මොහු ඒ ගැන බියට පත්ව ගෙලවැලලාගන්නට ඇති බව ඔහුගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ කර තිබුණාය.

මේ සියලු සියදිවි නසා ගැනීම් වලින් පෙනී යන්නේ කොරෝනා පිලිබඳ තවමත් අප සමාජයේ මහජනතාව අතර හරිහැටි අවබෝධයක් නොමැති බවය. මෙය  සුව කළ නොහැකි රෝගයක් ලෙස ඔවුන් සිතා ඇති බව පෙනේ. නව කොරෝනා වෛරසය, නිරෝධායනය ගැන තවමත් මහජනතාව තුල ඇත්තේ අනියත බියකි. ඇතැම් විට සෞඛ්‍ය අංශ, ඇතැම් මාධ්‍ය හැසිරෙන අයුරින් ඔවුන් එලෙස අනියත බියක් ඇති කර ගන්නවා විය හැකිය. නමුත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් කොරෝනා මරණ වලට වඩා ඊට බියෙන් මිය යන පිරිස ඉහළ යා හැකිය. ඒ නිසා සෞඛ්‍ය අංශ වහාම මේ පිලිබඳ අවධානය යොමු කිරිම වැදගත් වේ.

-ශානිකා-

Social Sharing
නවතම