වසංගතය මැද රටම විවෘත වන්නේ රාජපක්ෂවරුන්ගේ උත්සව නිසාද?

මේ වන විට සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12970 දක්වා ඉහළ ගොස් ඇත. මරණ 30 ක් සිදුවි ඇත. තවමත් බස්නාහිර පළාතෙන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙමින් ඇත. ඊයේ (06) දිනයේ කොරෝනා ආසාදිතයින් 400 ක් වාර්තා විය. එමෙන්ම විශාල පිරිසක් සිටින්නේ නිරෝධායන ක්‍රියාවලියට යටත්වය. මෙවන් පසුබිමක් තුල ලබන 09 දා සිට රට සම්පුර්ණයෙන්ම විවෘත වන බවට මේ වන විට රජය විසින් යම් යම් ඉඟි පළ කර ඇත.

ජනාධිපතිවරයා ද පහුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණේ ඇඳිරි නීතිය ඉවත් කළ පසු නිරෝධායන ක්‍රියාවලිය ගැන දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවය. එමෙන්ම මේ වන විට ඇඳිරිනීතිය ඉවත් කළ පසු අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශන මාලාවක්ද නිකුත් කර ඇත.

නමුත් රටේ තවමත් කොරෝනා රෝගින්ගේ අඩුවක් නොමැතිව වාර්තා වෙද්දී රට මෙලෙස විවෘත කිරීම පිලිබඳ රටේ ජනතාවට ඇත්තේ දැඩි විමතියකි. එමෙන්ම දැඩි සැකයකි. ඒ රටේ ජනතාව ගැන නොසිතා රටේ පාලකයින් ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් ජනතාව බිල්ලට තබනවාද යන්නය.

මරණ අඩුවෙන් වාර්තා පළමු කොවිඩ් රැල්ලේදී මුලු රටම වැසිමට ක්‍රියා කළද දෙවැනි රැල්ලේ මේ වන විට කො‌රෝනා  මරණද අසාමාන්‍ය ලෙස ඉහළ යමින් ඇත. නමුත් ඒවාද සාමාන්‍ය බවට පත් කරමින් අවදානම් කළාප  විවෘත කිරීමට සුදානමින් සිටිම ගැන විවිධ සැක මතු වී ඇත.

ඒනම් ලබන 11 – 14 දක්වා කාලය තුල බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දී රට වටා සැමරුම් පවත්වනු ලබන බවද, ලබන 16- 20 තෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු පදවි ප්‍රාප්ති සැමරුමද, නොවැම්බර් 17 දින මංගල අයවැයද, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වෙනි ඡන්ද දින සැමරුම නොවැම්බර් 18 වෙනිදාද, LPL ක්‍රිකට් තරගාවලිය (නොවැ.27 – දෙසැ.17) නිසා බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. රාජපක්ෂ පවුලේ මේ සියලු දේවල් නොවැම්බර් මස සිදු කිරිමට නියමිත බැවින් රටේ ඇඳිරි නීතිය පැවැත්විම ඊට බාධාවකි.

කොරෝනා දෙවැනි රැල්ල තවදුරටත් ව්‍යාප්ත වෙමින් යද්දී, කොරෝනා ආසාදිතයන් නිවාස තුළම මිය යමින් සිටිද්දී කොරෝනා අමතක කර කාර්නිවල් පැවැත්වීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාද පහුගිය දිනෙක මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කර තිබුණි.

-ශානිකා-

Social Sharing
නවතම