ඔව් අපේ එවුන් හරිම විශේෂයි..! – කේ. සංජීව

ඔව් ලංකාවේ මිනිස්සු හරිම විශේෂයි. කරදරයක් උනාම පොරකාලා මැරීගෙන උදව් කරනවා. ඇල්ල වගේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට කිසිම බයක් හැකක් නැතිව දෙපාරක් හිතන්නේ නැතිව බහිනවා. මැරෙන්න උනත් ඒක කරනවා. ඒක මම නම් ගමේ ඉන්න කාලේ ජීවිතෙන්ම අත් විඳලා තියෙනවා.

අනෙක් පැත්තෙන් අපේ එව්න් ට්‍රිප් එකක් ගියත් එතනත් ෆුල්ම ආතල් එකේ තමයි ඉන්නේ. ඔය වංගු පාරේ උනත් සීයට යන්න පුළුවන්නම්, උන් යනවා. එහෙම යනකොට ඇතුලේ ඉන්න එවුන් ආතල් එකට විසිල් ගහනවා අත්පුඩි ගහනවා. සමහරු වීඩියෝ පවා දානවා.

සමහරු ඉස්සරහා ඉදගෙන ඩ්‍රයිවර්ට උගන්නනවා. ඒ උපරීම ආතල් එක ගන්න. එහෙම එනකොට පොඩ්ඩක් පාරෙන් එළියට රෝදේ ගිහිං ගැස්සිලා කැරකිලා ආයේ පාරට ආවාම ඒකෙනුත් අපේ එවුන් මාර ෆනක් තමයි ගන්නේ. කවුරුත් ඩ්‍රයිවර් ට හෙමින් යන්න කියලා නම් කියන්නේ නෑ. හැබැයි ඔය ආච්චි අම්මා කෙනෙක් හරි කීවොත් කොල්ලෝ හෙමි යමං කියලා ඔන්න ආච්චි අම්මට නක්කලේ දාලා ටික වෙලාවකින් ආයෙත් පරන ට්‍රැක් එකට පනිනවා.

සමහර වෙලාවට ඔය බස් එකේ ඩ්‍රයිවර් බීලා ඉන්නත් ඇති. එහෙම තමයි. සමහර එවුන් බොන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්නකොට අපේ එවුන් ඉන්නම දෙන්නේ නෑ. චුට්ටක් ගම්මු. චුට්ටක්. ඕක ගත්තා කියලා උබට අවුලක් වෙන්නේනෑ. අනික ටිකක් ගත්තාම නින්ද යන්නේ නෑ. ඔහොම කියලා කොහොමහරි පොවනවා. එහෙමත් ඩ්‍රයිවර් මහත්තේක්ට තමයි ගැලවෙන්න පුළුවන් වෙන්නේ.

බෑ මහත්තයෝ දැන් පොලීසියෙන් හැම තැනම ඉන්නවා. ලෙඩේ අහුවුණොත් කියලා කීවාම අර විනෝදකාමීන්ගේ නායක පකීරයා මෙහෙම කියනවා ‘අනේ බන් බය නැතිව ඕක ගහපං මම පොලීසිය බැලන්ස් කරන්නම්. අපි ඕවගේ ඒවද බැලන්ස් කරලා තියෙන්නේ’ ඔන්න ඉතිං ගහනවා.

ඔහොම ගහලා බස් එකට නැග්ගාම ඉතිං රේස් යන්න, අනෙක් වාහන ඉස්සර කරලා ෆන් එකක් ගන්න, ඒකට චියර් කරන්න, වගේ දේවල්වලට ඩ්‍රයිවර්ගේ කනේ සෙට් වෙනවා වැඩ්ඩෝ ටිකක්. ඊටපස්සේ උන් තමයි බස් එක අරගෙන යන්නේ. එහෙම යනකොට බස් එකේ මැද වාඩිවෙලා සමහර පොඩි එවුන් ඔලුව එහෙම එළියට දාගෙන මාර ආතල් එකක් ගන්නේ. ඔන්න ඕක තමයි ට්‍රිප් ආතල් එක.

අපේ එවුන්ගේ ඔය ආතල් කෑල්ල තවත් වර්ධනය කරන්න තමයි ඔය දම් රැජින වගේ රාජිණියෝ ආවේ. ඊළඟට ඇතුලේ කැරකෙන කැරෝකේ ලයිට්ස් ආවේ. ඕවා ඉබේ ආවේ නෑ. ඒවා අපේ අපේ ට්‍රිප් කල්චර් එකේම දිගුවක් විදිහට තමයි එන්නේ. අපේ එවුන් ට්‍රිප් යනකොට වතුරට විතරයි ඇත්තටම බය. වැවකට බැස්සත් මූදට බැස්සත් ගෑනු ටික ගොඩ ඉදලා කෑගහනවා උන් තමයි යන්න ඕනෑ දුර මාක් කරන්නේ. වතුරකදි ඇරෙන්න අපේ එවුන් ජයශ්‍රී මහා බෝධිය ළඟට ගියත් ෆන් එක තමයි.

නැවගිලුනත් ගැට්ටේ බජව් කියන එක වගේම මේ ත්‍රාසය විදීමේ නොනිත් ආශාව අපේ එවුන්ගේ ජාන අස්සෙම තියෙන එකක්. ඒනිසා කාලෙන් කාලෙට මේවගේ අනතුරු වෙන එක වළක්වන එක ලේසි නෑ. මොකද ජාන සැකැස්ම වෙනස් කරන්න බෑනේ. මට මගේ යාළුවෙක් දවසක් අපේ රත්නපුරේ ගෙදර බොන්න ඇවිත් අපි ඇල්ලක ගිහිං ගත්ත සොමිය දැකලා කියනවා අපේ එවුන් මෙක්සිකන් එවුන් වගේ තමයි ආතල් ගන්න ගියාම කියලා. කෙලවරක් නෑ. උබලා නිකං හිතලා බලහල්ලා බොන්න ගියාම කෙලවරක් තියෙයිද කියලා…!

කොහොමවුණත් නැතිවුණ ජීවිත වලට සැනසීම අත්වේවා. තුවාල උන ජීවිත ඉක්මනින් සුවපත් වේලා ඔවුන්ට ඉක්මනින් ඇල්ලේ යන්න ලැබේවා..!

Social Sharing
අවකාශය නවතම