ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් ජිනීවා කවුන්සිලයට නව යෝජනාවක්!

අන්තර්ජාතික සහාය ඇතිව දේශීය යාන්ත්‍රණයක් හරහා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ චෝදනා විමර්ශනය සහ ප්‍රතිසන්ධානයට පියවර ගන්නා බවට පොරොන්දු වෙමින් ජාතික ජන බලවේගය පාලනය යටතේ ශ්‍රී ලංකාව මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග කටයුතු කිරීමට සූදානම් බව වාර්තා වේ.

මෙවර සැසියේදී බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කිහිපයක් එනම් කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාවා ‍යන රටවල්  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ සහාය ලබන, අතීත නිර්දේශ මත ගොඩනගා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන පුළුල් ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියකට ප්‍රමුඛත්වය දෙන ලෙස එම කණ්ඩායම දැනටමත් රජයෙන් ඉල්ලා ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් ඉකුත් ජූනි 23 සිට 26 දක්වා මෙරට සිව්දින නිල සංචාරයක නිරත වූ අතර, එය 2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරයයි. එම අවස්ථාවේ ඔහු විසින් මෙරට රජයෙන් ඉල්ලා සිටියේ ලංකාව තුළ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර්ජාතික නීතිමය විකල්පයන් භාවිත කිරීම සලකා බලන ලෙසයි. තවද අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ අපක්ෂපාතීත්වය, අන්තර්ජාතික විශේෂඥතාව ලබාගැනීම සහ එහි විශ්වසනීයත්වය ගොඩනැගීම සඳහා අධීක්ෂණය කිරීම ඇතුළුව අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියට අනුගත වෙමින් යුක්තිය සඳහා සක්‍රීය පරිසරයක් නිර්මාණය කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා ඇත.

විදේශ අමාත්‍යාංශය මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සඳහා සූදානම් වෙමින් සිටින අතර අමාත්‍ය විජිත හේරත් මෙවර ඊට සහභාගි වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලියට රජය විරුද්ධ නොවන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය. කෙසේවෙතත් අමාත්‍යංශ මූලාශ්‍ර පවසන්නේ, ඉදිරිපත් කිරීමට සූදානමින් ඇති යෝජනාව සඳහා රජය සම-අනුග්‍රහය නොදක්වන බවයි.

ගැටුමට වඩා අන්තර්ජාතික ප්‍රජාව සමඟ සම්බන්ධවීමට උත්සාහ කරන බවත්, යෝජිත ත්‍රස්ත විරෝධී නීතියේ කෙටුම්පත ක්‍රියාත්මක වන බවත්, එය උතුරේ සිවිල් වැසියන්ගේ ඉල්ලීම් ඉටු කිරීමේ දිශාවට පියවරක් වනු ඇති බවත්, සත්‍ය සෙවීම සහ යුක්තිය වෙනුවෙන් පියවර ගන්නා බවත් රජයේ ස්ථාවරය බව අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම වසරේ සැසිවාරය සැප්තැම්බර් 8 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Social Sharing
අවකාශය නවතම