සිරකරුවන් අතර මීටරයක් තබා අඟලක පරතරයක්වත් තබාගනු බෑ – සේනක පෙරේරා

වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු කෙරුනු අහඹු PCR පරීක්ෂණයේ දී රැදවියන් 6 දෙනෙකු ඇතුලු නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගම බන්ධානාගර රැදවියන් විශාල ප්‍රමාණයක් අතර කොරෝනා වෛරසය වේගයෙන් පැතිරි යා හැකි බවට බොහෝ දෙනා බිය පලකරයි.

ඊ‌ට ප්‍රධාන හේතුව වන්නේ මෙම වෛරසයෙන් බේරීම සදහා පාවිච්චි කළ යුතු සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුඛ ආවරණ පැලදීම හා දැත් පිරිසිදු කිරීම යන කාරනා සම්බන්ධව බන්ධනාගර පද්ධතිය තුළ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම බවයි වාර්තා වන්නෙ. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ රැදවියන් 10,000ක් සදහා පමණක් ඉඩ පහසුකම් පැවතියත් මේ වන විට ඒහි බන්ධනාගාරගත කර ඇති ප්‍රමාණය 26,000ක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ප්‍රකාශ කරයි.

නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කරන්නේ වෛරසය පාලනය කිරීම සදහා දෙදෙනකු අතර මීටරයක පරතරයක් පවත්වා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ බලධාරීන් උපදෙස් ලබා දී තිබුනද මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ ඇති දැඩි තද බදය හේතුවෙන් දෙදෙනෙකු අතර පරතරය අඟලකවත් තබා ගැනීමට නොහැකි බවයි.

ඔහු මේ සම්බන්ධව තව දුරටත් කියා සිටින්නේ, බන්ධනාගාර තුළ  කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාර්තු 16 වනදා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ  යෝජනා මාලාව ක්‍රියාත්මක කර තිබුනේ නම් මතුව ඇති අනතුරුදායක තත්වය අවම කර ගැනීමට හැකියාව තිබු බවයි.

සිරකරුවන් මෙම සමාජයේ කොටසක් සේ නොසලකා කටයුතු කිරීමේ තත්වයක් පසුගිය කාලය පුරා දැක ගත හැකි වු බවට කනගාටුව පලකරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම වෙනුවෙන් කටයුතු කරන්නා සේම සිරකරුවන්ද මනුෂ්‍යයන් සේ සලකා කටයුතු කරන ලෙසයි.

Social Sharing
නවතම