“බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර නිළධාරීන් ආරක්ෂා කරමින් ඉන්නවා”

බන්ධනාගාර තුළ සිටින රැදවියන් අපරාධ කල්ලි මෙහෙයවන බවට මතයක් රට තුළ සමාජ ගත කොට බන්ධනාගාරය තුළ සිටින සමහර රැදවියන් ඝාතනය කිරීමේ ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් යනවා. මෙහෙම රැදවියන් ඝාතනය වෙනවානම් මේ රටට නීතියක් අවශ්‍ය නෑ. අධිකරණයක් අවශ්‍ය වෙන්නේ නෑ. මේ තත්වය වහාම වෙනස් විය යුතුයි කියා අප කළ්පනා කරනවා යැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ්  චන්දිමල් සිල්වා මහතා 04 දින තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී අදහස් දැක් වූ සුදේශ් නන්දිමාල් සිල්වා මහතා මෙසේද පැවසීය. පසුගිය 03 දින මොණරාගල බන්ධනාගාරය තුළදී නිළධාරීන්ගේ පහර දීමක් නිසා රැදවියෙක් මිය ගොස් තිබෙනවා. ඔහු දරුණු වද හිංසාවන්ට ලක් වී තිබෙනවා. අම්පාර නවගම්පුර පදිංචිව සිටි උපුල් නිශාන්ත නම් මේ රැදවියා ගේ ඝාතනයට ජේලර් වරයෙක් හා නියාමක වරයෙක් සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවා. රැදවියා සමඟ මෙම නිළධාරීන් බහින් බස් වීමක් වී අවසානයේදී ඝාතනයක් දක්වා මෙම ගැටුම දුරදිඟ ගොස් තිබෙනවා.

ඝාතනය වූ මෙම රැඳවියාට ඉතාමත් අමාණුශික ලෙස පහර දී ඝාතනය කොට ඇති බවට අපට තොරතු ලැබී තිබෙනවා. නිරායුධ රැදවියන් ඝාතනය කිරීම පිළිබදව බන්ධනාගාරයට ඉතිහාසයක් තිබෙනවා. අපට මතකයි 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේදී නිරායුධ රැදවියන් සමූහයක් ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනු ලැබූවා.

රට තුළ කොරෝනා වසංගතය ඇති වූවාට පසුව පමණක් බන්ධනාගාර වල සිටි රැදවියන් සිවු දෙනෙකු මේ වන විට ඝාතනය කොට තිබෙනවා. පලමු කොරෝනා රැල්ල ආරම්භයත් සමඟ අනුරාධපුර  බන්ධනාගාරය තුළදී රැදවියන් දෙදෙනෙකු ඝාතනය කරුන ලැබූවා. ඊට පසුව මහර බන්ධනාගාරය තුළදී රැදවියෙක් ඝාතනය කරනු ලැබූවා. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් කුමක් නිසා හෝ ඔහු බන්ධනාගාර ගතව තිබණා. අවසානයේදී ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වුණා. ඉන් පසුව මොණරාගල බන්ධනාගාරයේ තුළදී මෙම අමානුෂික ඝාතනය සිදු වී තිබෙනවා.

මේ වන විට බන්ධනාගාර  තුළදී රැදවියන් සිවු දෙනෙකු ඝාතනය වී තිබියදීත් බන්ධනාගාර කොමසාරිස් වරයා බන්ධනාගාර නිළධාරීන් ආරක්ෂා කරමින් ඉන්නවා. ඝාතන වලට සම්බන්ධ නිළධාරීන්ට විරුද්ධව දෙපාර්තමෙන්තු මට්ටමෙන් නීතිය ක්‍රියාත්මක කරවන්නට බන්ධනාගාර කොමසාරිස් වරයා කටයුතු කරන්නේ නෑ. බන්ධනාගාර වල සිටින හැමෝම අපරාධ කරුවන් බවට මතයක් රටතුළ පතුරවන්න බන්ධනාගාර කොමසාරිස් වරයා කටයුතු කරමින් ඉන්නවා.

“බන්ධනාගාර කොමසාරිස් වරයා කල්පනා කළ යුතුයි. ඔහුගේ පියාද වරක් බන්ධනාගාරයේ රැඳවියෙකු වශයෙන් සිටියා කියා. ඔහු ගේ පියා මේ අයුරින් ඝාතනය වූවා නම් බන්ධනාගාර කොමසාරිස් වරයා එම මරණයත් මේ අයුරින් සාධාරණය කරන්න කටයුතු කරනවාද කියා අප ප්‍රශ්න කරනවා.”

පහු ගිය කාලයේදී අප දැක්කා පොලිස් අත් අඩංගුවේ සිටින රැදවියන් මහ මඟ ඝාතනය වෙනවා. අත් දෙකට මාන්චු දාපු අය පොලීසියට බෝම්බ ගහන්න ගිහිල්ලා මැරම් කනවා අප දුටුවා. අද පොලිස් දෙපාර්තමෙන්තුව විහිළු සපයමින් ඉන්නවා. අපි දැක්කා මෑතකදී මදුෂ් ලක්ෂිත පොලිස් අත් අඩංගුවේ සිටියදී ඝාතනය වෙනවා. දේශබන්ධු තෙන්නකොන් මහත්තය හොද නාට්‍යයක් රඟපෑවා. ඔහු කියනවා පොලිස් අත් අඩංගුවේ සිටි මදුෂ් පාතාල කල්ලියක් අතින් ඝාතනය වූවා කියා. එහෙම වෙන්න පුළුන්ද? පාතාල කල්ලියක් අතින් මදුෂ්ව ඝාතනය වෙනකම් පොලීසිය කුමක්ද කලේ. පොලිස් නිළධාරීන් තම රාජකාරිය පැහැර හැරලා තියෙනවා නේද? දේශබන්ධු තෙන්නකොන් මහත්තයා ඒ නිළධාරීන් සම්බන්ධයෙන් ගත් විනය ක්‍රියා මාර්ගය කුමක්ද? කිසිවක් නෑ . මේව නාට්‍ය.

අද බන්ධනාගාරය තුළ සිටින සමහර නිළධාරීන් එක් එක් අයගෙන් කොන්ත්‍රාත් අරගෙන රැදවියන් ඝාතනය කරනවාද කියා අපට සැකයක් තිබෙනවා. අද මේ රටේ බන්ධනාගාර සියල්ල අපරාධකාරී නිළධාරීන්ගෙන් පාලනය වෙන තැන් බවට පත් වී තිබෙනවා.

අද රාජ්‍ය පාතාලයක් රට තුළ නිර්මානය වී තිබෙනවා. ආරක්ෂක ලේකම් තුමා ඇති වී තිබෙන මේ තත්වය පිළිබදව කියන්නේ කුමක්ද කියා දැන ගන්න කැමතියි.

මේ තත්වය ඉතාමත් භයානකයි. මෙම ඝාතන රැල්ල මින් එහාටත් යන්න පුළුවන්. විකල්ප මත දරන අය ඝාතනය කිරීම දක්වා මෙම ඝාතන රැල්ල යන්න පුළුවන්. ඒ නිසා අප මේ රටේ ජනතාවට කියනවා මෙම ඝාතන රැල්ලට විරුද්ධව හඩ නඟන්න පෙරට එන්න කියා.

අප දිඟින් දිඟටම මේ ඝාතන රැල්ලට විරුධව සටන් කරනවා. මොණරාගල බන්ධනාගාරය තුළදි මිය ගිය උපුල් නිශාන්තගේ අයිතිවාසිකම් වෙනුවෙන් අප පෙනී සිටිනවා. මේ වන විට අප මානව හිමිකම් කොමිසමට පැමිණිළි කොට තිබෙනවා. එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසමට මේ ඝාතනය පිළිබදව පැමිණිළි කොට තිබෙනවා. එමෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගන්න අප මිය ගිය රැදවියාගේ ඥාතීන් සමඟ මේ වන විට සාකච්ඡා කොට අවශ්‍ය පියවරයන් ගනිමින් ඉන්නවා.

අවසන් වශයෙන් අප කියන්නේ රට තුළ මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට විරුද්ධ වෙන ලෙසයි.

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම