ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළාය.
ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බව යම් සංවිධානයක් විසින් ප්‍රකාශ කර ඇති බවත්, මේවා හිතාමතා හෝ නොදැනුවත්භාවය නිසා සිදු කරන ප්‍රකාශ බවත් ඔහු ඒහි දී ප්‍රකාශ කළාය. දැන් පවතින තත්වය අනුව, ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට හැකියාවක් නොමැති බවත්, නීතිමය වශයෙන්ද එයට ඉඩක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් නව රජය 2024 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2025 වසරේ අගෝස්තු දක්වා රුපියල් බිලියන 1410ක් මුදල් මුද්‍රණය කර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබුනි. ඒ, මතු දැක්වෙන පරිදි ය.
මුදල් මුද්‍රණය රුපියල් බිලියන,
2024
October 58.70
November 78.30
December 234.80
2025
January 117.40
February 104.70
March 233.90
April 154.20
May 33.60
June 210.30
July 151
Aug. 51
ඒම සංඛ්‍යාලේඛන අනුව, පසුගිය මාස 11 තුළ රුපියල් බිලියන 1427.9ක් මහ බැංකුව විසින් මුද්‍රණය කර තිබේ.
මේ සම්බන්ධව රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා තම මුහුණු පොත ඔස්සේ පහත ප්‍රකාශය කර තිබුනේ.., ගොඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් ආණ්ඩුව වෙනුවෙන් මුදල් මුද්‍රණය කළේ මහ බැංකුව බවයි. ඔහු ගේ සම්පුර්ණ ප්‍රකාශය පහත,
මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මාස කිහිපය තුල ‘පුළුල් මුදල් සැපයුම (Broad money printing (M2b) රු. බිලියන 15 ඉක්මවා ප්‍රසාරණය වී ඇති බව’ පිළිගැනීම පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සිය සතුට පළ කරයි.
සෑම විටම ආණ්ඩුව වෙනුවෙන් මුදල් සැපයුම පාලනය හා මුද්‍රණය සිදු කරනු ලබන්නේ ‘ශ්‍රී ලංකා මහ බැංකුව’ බව ආර්ථික විද්‍යාව පිළිබඳ අවම දැනුමක් සහිත පුද්ගලයින් පවා දනිති.
රජයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ණයකරුවන් සමඟ වන ගිවිසුම් ප්‍රකාරව මුදල් අච්චු ගැසීමට හැකියාවක් නොමැතිව තිබිය දී, මහ බැංකුව රජය වෙනුවෙන් සිදු කළ ‘පුළුල් මුදල් සැපයුම – මුදල් අච්චු ගැසීම’ මගින් ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම අප මුල් නිවේදනය මගින් පෙන්වාදී ඇත. එය දේශපාලන අවශ්‍යතාවයක්, නොදැනුවත්කමක් ලෙස සලකා පණිවුඩකරුවාට වෙඩි නොතැබීම රජයේ වගකීමයි.
ගෝඨාභය රාජපක්ෂ පාලනය සමයේ ද එම ආණ්ඩුව වෙනුවෙන්, මහ බැංකුව මෙලෙසම ‘මුදල් සැපයුම පුළුල් කිරීම’ හෙවත් මුදල් අච්චු ගැසීම සිදු කළේය. මෙය ලංකා ආර්ථිකයට බරපතල බපෑමක් සිදු කළ හැකි බව සිවිල් ක්‍රියාකාරීන් අවධාරණය කළේය. එවකට මහ බැංකුවේ සිටි ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රමුඛ මහ බැංකු නිලධාරීන් ද, ආණ්ඩුවේ දේශපාලනඥයින් ද එම අවදානම බැහැර කරමින් ප්‍රකාශ නිකුත් කළ බව සිහිපත් කළ යුතුය. අවසානයේ දී, දිය යට ඔබා තිබූ රබර් බොලයක් මෙන්, 2022 මාර්තු අවසන් සතියේ දී විනාශකාරී ලෙස ආර්ථික අර්බුදය පුපුරා ගියේය.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් ඉතා නිවැරදි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ පරිදි, 2024 ඔක්තෝබර් අවසානයේ දී රු. බිලියන 14,008.6 ක් වූ, පුළුල් මුදල් සැපයුම (Broad money printing (M2b), 2025 ජූනි අවසානයේ දී රු. බි. 15,175.8 දක්වා වර්ධනය වී ඇත. එනම්, 2024 ඔක්තෝබර් සිට 2025 ජූනි දක්වා (මාස 8 තුල) ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම රුපියල් ට්‍රිලියන 1.2 කින් ප්‍රසාරණය වී ඇත.
නියෝජ්‍ය අමාත්‍යවරයා නිවැරදිව පෙන්වා දුන් ඔන් ලයින් දත්ත අනුව, මහ බැංකුවේ මුදල් සැපයුම වාර්ෂිකව 17% කින් ද, ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b) 10% කින් ප්‍රසාරණය වී ඇත. මෙය බලපෑම්කාරී තත්වයකි.

ගෝඨාභය පාලන සමයේ දී මෙන් සත්‍යය වසන් කිරීමකින් තොරව, විවෘත භාවයකින් යුතුව එහි වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වන බව පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීම ප්‍රසංශා කටයුතුය.
පුළුල් මුදල් සැපයුම හරහා ආර්ථිකයට ඉදිරියේ දී එල්ල විය හැකි බලපෑම නිසි පරිදි ග්‍රහණය කර, එයට පිළියම් යෙදීම රජයේ වගකීමයි.
මුදල් අච්චු ගැසීමේ සම්බන්ධයෙන් වන අනාවරණයන් හි දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත්, මහ බැංකු අධිපතිවරයා ලෙසත් අජිත් නිවාඩ් කබ්රාල් විසින් දැක්වූ අධිපතිවාදී ප්‍රවේශයෙන් වත්මන් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා බැහැරවීම සුබවාදී තත්වයකි.
