
උතුරු නැගෙනහිර මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදියෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ප්‍රශ්න කර තිබේ. මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්ව ඇත්තේ කනපතිල්ලෙයි කුමනන් නැමැති ඡායාරූප මාධ්‍යවේදීයාය. ඒ අනුව ඉකුත් අගෝස්තු 17 වන දා මුලතිව්, ආලම්පිල්හි පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස (CTID) උපකාර්යාලය වෙත මෙම මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් කැඳවා ඇති අතර එම ඒකකයේ නිලධාරීන් තිදෙනෙකු පැය හතකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.
දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයකට සිය දායකත්වය ලබා දෙන කුමනන් උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ විරෝධතා, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් මෙන් ම ඉඩම් ගැටලුව වැනි දෙමළ ජනයා මුහුණ දෙන ගැටලු සම්බන්ධව ඡායාරූප වාර්තාකරණයේ නිරත වන්නෙකි. මුලතිව් මාධ්‍ය සමාජයේ සභාපතිවරයා ද වන කනපතිපිල්ලෙයි කුමනන් වෙත ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය ලිඛිතව සහ දුරකතන ඇමතුමකින් දැනුම් දී තිබුණේ, එම කොට්ඨාසය විසින් කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අගෝස්තු 17 වන දා පෙරවරු 10ට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ආලම්පිල් උප ඒකකය වෙත පැමිණෙන ලෙස ය.
එහිදී ඔහුට පවසා ඇත්තේ, ඔහුගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රශ්න කරන බව ය. කෙසේ වෙතත්, ඔහුට කරන ලද කැඳවීම පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ඉල්ලා ඡායාරූප මාධ්‍යවේදී කුමනන් යාපනයේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
කුමනන්ගේ පැමිණිල්ලට අදාළව CTIDය විසින් අගෝස්තු 13 වන දා මානව හිමිකම් කොමිසම වෙත එවා ඇති වාර්තාවක් අනුව, මානව හිමිකම් කොමිසම මාධ්‍යවේදී කුමනන්ට දැනුම් දී ඇත්තේ, 2023 මාර්තු මස 13 වන දා හමුදා බුද්ධි අංශ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු ප්‍රශ්න කිරීමට කැඳවා තිබූ බව ය.
‘පැමිණිල්ලේ හරය නම්, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාතේ යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ප්‍රජාවන් සමග කටයුතු දෙමළ මාධ්‍යවේදියෙකු සහ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන මම, ඔවුන් පවත්වන විරෝධතා සහ උද්ඝෝෂණ පිළිබඳ මාධ්‍ය ආවරණය ලබා දෙමින්, එම තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් හමුදාවට අපකීර්තියක් ඇති කරන බවත්, හමුදාව සහ දෙමළ ජනතාව අතර ගැටුම් ඇති කරන බවටත් වන චෝදනාව යි,’ යනුවෙන් මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කර තිබිණි.
උපුටා ගැනීම බීබීසී සිංහල වෙබ් පිටුවෙනි.
