නිරෝධායන ක්‍රියාවලිය ගැන මානව හිමිකම් කොමිසමෙන් රජයට මාර්ගෝපදේශ මාලාවක්!

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස මේ වන විට  රජය නිරෝධායන කටයුතු රැසක් සිදු කරගෙන යනු ලබයි. එමෙන්ම නිරෝධායනය වන ආකාරද වර්ග කිහිපයකි. රජය විසින් ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වල මේ වන විටත් බොහෝ දෙනෙක් නිරෝධායනය වෙමින් සිටිති. ඔවුන් නිරෝධායනය වී අවසන්ව නිවසට යන අවස්ථාවේ මාධ්‍යවේදීන් එය රූගත කරන අයුරු දැකගත හැකිය. එසේ මාධ්‍යවේදීන් එම කටයුත්ත ආවරණය කිරීමට යන්නේ එම ස්ථාන වල ඉහළ බලධාරීන්ගේ ඉල්ලීම් අනුවය.

නමුත් මෙම කටයුත්ත වහාම නැවැත්විය යුතු බව මානව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට දන්වා ඇත. එමෙන්ම නිරෝධායන ක්‍රියාවලීන් විධිමත් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කිරීමට මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් රමණි මුරුත්තෙට්ටුවේගම මහත්මිය විසින් පියවර ගෙන ඇත.

නිරෝධායනය කෙරෙනු ලබන පුද්ගලයන් වෛරසයේ අවාසනාවන්ත වින්දිතයින්ට වඩා වැරදිකරුවන් යැයි හැඟෙන පරිදි බාහිර සමාජයට පෙන්වීම වැළැක්වීම සඳහා මෙලෙස මාධ්‍යයට එම තොරතුරු ලබාදීම තහනම් කරන ලෙසද,  නිරෝධායන කාල සීමාව තුළ නිරෝධායනය වන්නන්ට වැටුප් හෝ නිවාඩු ලැබෙන බවට සහතික කරන්නැයි ද නිරෝධායනයෙහී යෙදී සිටින අයගේ පවුල් සඳහා මූල්‍ය හෝ වෙනත් ආධාර ලැබෙන බවට සහතික කරන්නැයි ද එම කොමිෂන් සභාව මාර්ගෝපදේශවල සඳහන් කර තිබේ.

එමෙන්ම පුද්ගලයෙකු නිරෝධායනය කළ වහාම ග්‍රාම නිලධාරි දැනුම්වත් කරන ලෙසත් නිරෝධායනය වන අයගේ පවුල්වල අවදානමට ලක්විය හැකි යැපෙන්නන් නිවසේ තනිකර දමා ඇති තත්වයන්වලදී ඒ සම්බන්ධයෙන් නිසි බලධාරීන් දැනුවත් කිරීම සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට අවශ්‍ය සියලු සහය ලබා දීම සහතික කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරුන්ට උපදෙස් ලබාදිය යුතු බවද එම මාර්ගෝපදේශවල සටහන් කර ඇත.

නිසි අධිකාරිය විසින් බලතල පැවරීමේදී විනිවිදභායක් තිබිය යුතු බවටද කොවිඩ්-19 සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ බලය නම් කරන ලද සුදුසුකම් ලත් පිරිසකට පැවරිය යුතු බවටද නිරෝධායන මධ්‍යස්ථාන ලෙසට නම් කර ඇති ස්ථාන සහ ‘නිසි අධිකාරිය’ ලෙස නම් කර ඇති බලධාරීන් පිළිබඳ ලැයිස්තුගත කළ යුතු බවද එම කොමිසම සඳහන් කරයි. තවද අවශ්‍ය නිරෝධායන කාල සීමාව සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් කරන ලෙසත් නිරෝධායනය වන පුද්ගලයන්ට රිසිට්පත් පද්ධතියක් සකසන ලෙසත් එම කොමිසම මාර්ගෝපදේශවල දක්වා තිබේ. එහිදී නිරෝධායනය කිරීමට හේතුව, ඔවුන් රැගෙන යන ස්ථානය සහ හුදකලා කිරීමේ කාලය වැනි කරුණු ඇතුළත් කර කරන ලෙසටද දක්වා ඇත.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල බාහිර පරීක්ෂාව නිසි අධිකාරියක් මගින් සිදුකළ යුතු බවටද එම කොමිසම සඳහන් කරයි.

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනිව ක්‍රියා කිරීමට හෝ පොදුවේ මහජනතාවගේ සෞඛ්‍යයට හානිකර වන පරිදි ක්‍රියා කිරීමට මෙම නිර්දේශයන්හි කිසිවක් කිසිදු පුද්ගලයෙකු විසින් යොදාගැනීම නොකළ යුතු බවටද එම කොමිසම අවධාරණය කර ඇත.

-ශානිකා-

Social Sharing
නවතම