ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමනයට නව පනත් කෙටුම්පතක්!

දැනට පවතින 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මුල්‍ය පනත ඉවත් කර ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් 2023 වසරේ ඔක්තෝම්බර් නව වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීය.

එහෙත් පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ අතර ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය නියෝගය ලබා දුණි. එමෙන්ම පාර්ලිමේන්තුවේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත මෙම පනත් කෙටුම්පත යොමු කරනු ලැබ තිබේ.

එහි අන්තර්ගතය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කර ඇති අදහස් හා විකල්ප යෝජනා පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස එකී කාරක සභාව විසින් දන්වා ඇත. ඒ අනුව, පත් කරන ලද ප්‍රතිපත්ති/ මෙහෙයුම් කමිටුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි සංශෝධන සහ විවිධ පාර්ශ්වයන්ගෙන් ලබා ගත් යෝජනා ඇතුළත් කරමින් සිය අවසන් වාර්තාව සකස් කොට ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම සම්බන්ධයෙන් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, ඉහත සඳහන් වාර්තාව පදනම් කර ගනිමින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Social Sharing
අවකාශය නවතම