රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් විභාගයට ගැනීමට අවසර

අරගලය පැවති කාලවකවානුවේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල වැඩි මුදලට ඉන්ධන අලෙවි කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් පිරිසක් උද්ඝෝෂණයක් සිදු කළ අතර එම අවස්ථාවේදී එය විසුරුවා හැරීමට පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මරණයට පත්වී තවත් පිරිසක් තුවාල ලැබීය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දිනයේ 28  අවසර ලබා දී තිබේ.

අදාළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇති බවට වාර්තා වේ.

තවද මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඒවා සති හයක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති අතර අදාළ පෙත්සම්වල වගඋත්තර කරුවන් ලෙස නම් කර සිටි, මෙම වෙඩිතැබීම සිදුකිරීමට අණදුන් බව කියන කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න සහ වෙඩිතැබීම සිදුකළ බව කියන පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනෙකුට අධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

මෙම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සති හයක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර ඇති අතර ඉන් අනතුරුව මෙම පෙත්සම් විභාගය සඳහා ලබන පෙබරවාරි 27 වැනිදා කැඳවීමටද නියම කෙරුණි.

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන් නමැති 41 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයාගේ බිරිඳ ඇතුළු මෙම කළහකාරි සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ඉදිරිපත් කර තිබූ අතර මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ පොලිසිය විසින් කලහකාරී සිද්ධියක් විසුරුවා හැරීම සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රියා පටිපාටි හා නීතිමය ප්‍රතිපාදන අනුගමනය නොකොට සෘජුවම වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

ඒ අනුව මේ තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියහ.

මෙහිදී වගඋත්තරකාර පොලිස් නිලධාරින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ මෙම සිද්ධියේදී මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග වගඋත්තරකරුවන් ගෙන තිබූ බවත් මහජනතාවට අවවාද කිරීම් ඇතුළු නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කළ බවත්, මහජන සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් අවසානයේදී කළ නොහැකි විකල්පයක් නොමැති විට මෙම වෙඩි තැබීම සිදුකිරීමට සිදු වූ බවත් නීතිඥවරයා එම අවස්ථාවේ සඳහන් කර ඇත.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන්ට විරුද්ධව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනුකර ලගු නොවන නඩු විභාගයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බවයි. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබේ.

Social Sharing
අවකාශය නවතම