සජින් වාස් නිදහස් වූ මිහින් ලංකා නඩුව යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කරයි.

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, රජයට රුපියල් මිලියන 883ක පාඩුවක් සිදු කළේ යැයි යන චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් දුන් තීන්දුවක් බලරහිත කළ අභියාචනාධිකරණය විසින් එම නඩුව යළි විභාගයට ගන්නා ලෙස නියෝග කර ඇත.

ඒ අනුව, අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශෂී මහේන්ද්‍ර සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව 2007 වසරේ ජුනි 27 වැනිදා සහ 2008 වසරේ මැයි 29 යන කාල සීමාව තුළ මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින්, රජයේ ටෙන්ඩර් පටිපාටියට පටහැනිව පෞද්ගලික සමාගමකින් උපකරණ මිලදී ගැනීමේ කටයුතු තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් සජින් වාස් ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

එම නඩුව මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එය පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කළ අතර, එය පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ චෝදනාවලින් සජින් වාස් ගුණවර්ධන නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබුණු නමුත් මහාධිකරණයේ තීන්දුව නීතියට පටහැනි බව සඳහන් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා අනුෂා සම්බන්ධප්පෙරුම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ තීන්දුව අහෝසි කළ අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බවට වාර්තා වේ.

Social Sharing
අවකාශය නවතම