
නීතිපති දෙපාරතමේන්තුව ඊයේ දිනයේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දී ඇත්තේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නව දෙනකුට එරෙහි පවරා ඇති නඩුවේ රජයේ සාක්ෂිකරුවකු ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානී අබේසේකර මහතා නම් කර ඇති බවයි.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් වන ආචාර්ය නාමල් බලල්ලේ, මහේන් වීරමන්, සුජීව නිශ්ශංක මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභාගයට ගැනීම සිදු වූ අතර එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට ඉල්ලීමක් කරමින් මේ සිද්ධියේ විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම් කරන මෙන් 2022 වසරේදී ඉල්ලීමක් ඉදිරිපත් කළ බව දන්වා ඇත.
එම අවස්ථාවේ පැමිණිල්ලේ නීතිඥවරයා වූ එවකට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව දන්වා සිටියද මේ දක්වා එම ඉල්ලීම ඉටු නොවූ බව ඔහු එහිදී සඳහන් කර ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා සඳහන් කළේ මේ නඩුව සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කර අලුතින් සාක්ෂිකරුවන් නම් කර ඇති බවත් ඒ අනුව පැමිණිල්ලේ 109 වැනි සාක්ෂිකරුවා ලෙස ශානි අබේසේකර මහතා නම් කර ඇති බවයි.
අනතුරුව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණය අමතමින් පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන රන්බණ්ඩා නමැත්තා අධිකරණය ඉදිරියේ බොරු සාක්ෂි දුන් තැනැත්තකු ලෙස නම්කර තිබෙන බවත් ඔහු එම සාක්ෂිය දීමට පෙර තමන්ට තර්ජන ඇති බවට නිකවැරටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව පෙන්වා දුන්නේය. ඔහු බොරු සාක්ෂි දීම කර ඇත්තේ එම සිදුවීමෙන් පසුව නිසා මේ ගැන විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් විය යුතු බව අධිකරණය දැනුම් දුන්නේය.
නඩුවේ පළමු විත්තිකරු වන එවකට ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න නමැත්තා සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ විමර්ශන ඒකකය කළ පැමිණිල්ලක් අනුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. 2010 වසරේ ජනවාරි මස 25දා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමඟ එක්ව රහසිගතව සිරකර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම හා මරණය සිදුකිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 102 සමඟ කියවිය යුතු 356, 140, 146 සමඟ කියවිය යුතු 356, 146, 359, 32, 102 හා 113 ආ සමඟ කියවිය යුතු 355, 32 සමඟ කියවිය යුතු 355 හා 32 සමග කියවිය යුතු 296 වගන්ති ප්‍රකාරව විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා 17ක් ගොනු කර ඇත.
නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී. උපසේන (සුරේෂ්), ආර්.එම්.පී.කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නව දෙනකු නම් කර තිබේ.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ රසික බාලසූරිය ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිට ඇති අතර නඩු විභාගය සිදුවන අවස්ථාව දැකබලා ගැනීමට අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන කිහිපයක නියෝජිතයෝ අධිකරණයට පැමිණ සිටි බවට වාර්තා වේ.
