කහතුඩුව සිදුවීමේදී බලධාරීන් නිරෝධායන පනත උල්ලංඝනය කරලද?

හෝමාගම, කිරිවත්තුඩුව, කොස්වත්ත, හරිත උයන පිහිටි නිවෙසක් තුල ගෙල වැල දා ගත් පුද්ගල මළ සිරුරක් හෝමාගම පොලිසිය සොයා ගනු ලැබුයේ ඉකුත් 30 දාය. එලෙස මිය ගොස් තිබුණේ තරින්ද අමිල විතාරණ (36) නම් විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකි.

මොහුගේ මව ඉකුත් 15 දා මහරගම මත්ස්‍ය වෙලඳසැලකට ගොස් තිබෙන අතර දින කිහිපයකට පසු ඇයව අසනීප වී ඇත. ඒ බව ඇය අසල්වැසියන්ට දැන්වීමෙන් අනතුරුව අසල්වැසියන් විසින් මේ බව කහතුඩුව මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එම්. කල්දේරා මහතාට දන්වා ඇත. ඒ අනුව සුවසැරිය ගිලන් රථයකින් ඇයව කලුබෝවිල රෝහලට ගෙන ගොස් ඇත. එහිදී අස්වැසියන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට දන්වා ඇත්තේ මෙම කාන්තාවට විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සිටින බවත් ඔහු හිටපු ගමන් කළහකාරි ලෙස හැසිරෙන බවද දන්වා ඇත. නමුත් එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එය සැලකිල්ලට නොගෙන පවසා ඇත්තේ ගේ ඉදිරිපිට මේසයක් තබා ඔහුට කෑම ලබා දෙන ලෙසය.

කෙසේ නමුදු සිය මව රැගෙන යාම නිසා ඒම තරුණයා සිත් තැවුලෙන් පසු වී ඇත. එය දරාගත නොහැකිව ගෙල වැල ලා ගෙන ඇති බව පොලිසිය සැක කරයි.

මෙම තරුණයාගේ මරණයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ කහතුඩුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා බවට ප්‍රදේශවාසින් චෝදනා කර සිටිති.

නමුත් මේ සම්බන්ධයෙන් ඒම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසන්නේ මෙම තරුණයාගේ සහෝදරයෙකු ගාල්ලේ වෙසෙන බවත් ඔහුට දුරකථනයෙන් මේ බව දන්වා පැමිණෙන ලෙස කියා සිටියද මොහුව බලා ගැනීමට පැමිණිම ඔහු ප්‍රතික්ෂේප කළ බවය.

මේ අතර මාතලේ, යටවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුද ගෙල වැල ලා ගෙන තිබුණි. ඊට හේතු වී තිබුණේද කොරෝනාය. ඔහු කොළඹ ප්‍රදේශයේ සේවය කළ තරුණයෙකු වන අතර පහුගිය දිනවල කෙසේ හෝ ගමට ගොස් ඇත. එහිදී අසල්වැසියන් ඔහුට කොළඹ සිට කොරෝනා රැගෙන ගමට පැමිණියාය යැයි ඇනුම්පද එල්ල කිරීම  නිසා සිත් තැවුලට පත්ව ගෙල වැල ලා ගෙන ඇත.

හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් වී සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තෙකු පමණක් නිවසේ තනිකර දමා ඔහුගේ මව නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාම බලධාරීන් විසින් නිරෝධායන පනත උල්ලංඝණය කිරීමක් බවය.

ළදරුවෙකු ආබාධිත අයෙකු හෝ තනිව තම කටයුතු කරගත නොහැකි අයෙකු තනිකර දමා භාරකරුවන් නිරෝධායනයට හෝ රෝහලකට රැගෙන නොයන බවත් එවැනි අවස්ථාවන්හිදී ගත යුතු පියවර නිරෝධායන නීතියේ පැහැදිලිව සඳහන් වන බවත් වෛද්‍ය හේරත් මහතා සඳහන් කරයි.

නිරෝධායනය ඉදිරියේ දී නිවෙස්වලම කිරීමට තීරණය කර ඇතත් මෙවැනි තැනැත්තන් නිවසක හුදකලාවේ තබා යා නොහැකි නිසා බවත් එවැන්නන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වා ගෙන යායුතු බවත් කී හේරත් මහතා විශේෂයෙන් බෝඩිම්වල රැඳී සිටින පිරිස් අවශ්‍ය අවස්ථාවල නිරෝධායනය මධ්‍යස්ථානවලට යැවිය යුතුව ඇතැයි ද කහතුඩුවේ සිදුවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සොයා බලන බවත් එවැනි වැරදි ඉදිරියේ දී සිදුවන්නට ඉඩ නොතබන බවත් හෙතෙම කියා සිටි බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණි.

මේ අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටින්නේ රෝගියෙකු රෝහල් ගත කරන විට නිවසේ සිටින දරුවන්, වැඩිහිටියන්, රෝගීන් ගැන ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳ කිසිදු මඟ පෙන්වීමක් මෙතෙක් තම නිලධාරීන්ට ලබා දී නොමැති බවය. කහතුඩුව වැනි සිද්ධීන් කිහිපයකටම තම සංගමයේ නිලධාරීන්ට මුහුණ දිමට සිදුව ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවැරදි මඟ පෙන්වීමක් ඇත්නම් ගැටලුවකින් තොරව කටයුතු කළ හැකි බවද ඔහු කියා සිටියි.

කෙසේ නමුදු මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදු වුවහොත් රෝගී වුවත් තමන් බලාකියා ගන්නා දරුවා, වැඩිහිටියා, රෝගියා දමා නිරෝධායනයට, රෝහලට යාමට ජනතාව මැලි විය හැකිය. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර සෞඛ්‍ය අමාත්‍යාංශය වහා සුදුසු පියවරක් ගත යුතුව ඇත.

-ශානිකා-

Social Sharing
නවතම