ජනමාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුව තහනම්!

කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු පහුගිය දින පුරා අඛණ්ඩව පැවැත්විණි. ඒ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙනි. ඉන් පසුදින කොවිඩ් 19 වෛරසය සම්බන්ධ විවාදය පැවැත්විණි.

එහිදී පාර්ලිමේන්තුවේ සිටි ආරක්ෂක අංශ නිලධාරියෙකුට හා පාර්ලිමේන්තු සේවකයෙකුට කොවිඩ් වැලඳිම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය දින දෙකක් වසා දමා විෂබීජහරණයට ලක් කරන ලදි. මේ අතර පාර්ලිමේන්තු කටයුතු මාධ්‍ය ආවරණය සඳහා ගිය මාධ්‍යවේදියෙකුටද කොවිඩ් පොසිටිව් වී ඇති බව ඊයේ අනාවරණය විය. ඔහු පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණය සිදු කරගෙන ඇති අතර එහිදී ඔහුට කොවිඩ් වැලඳී ඇති බව තහවුරු වී ඇත. නමුත් ඒ බව යළිත් තහවුරු කර ගැනිමට ඔහුට රජයේ රෝහලකින්ද යළි PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇත.

මන්ද පහුගිය දිනෙක රජයේ විද්‍යුත් නාලිකාවක මාධ්‍යවේදියෙකුටද කොවිඩ් ආසාදිත බව පෞද්ගලික රෝහලකින් සිදු කළ පරික්ෂයේදී අනාවරණය වුවද පසුව එය රජයේ රෝහලකින් සිදු කළ විට එසේ නොවන බවට තහවුරු විය.

කෙසේ නමුදු ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පහුගිය 21/22 පාර්ලිමේන්තුවේ මාධ්‍ය ආවරණ කටයුතු වල නියැලුන සියලුම ජනමාධ්‍යවේදින්ට ස්වයං නිරෝධායනය වන ලෙසත් වහාම තම සිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සම්බන්ධ කර  ගන්නා ලෙසත්ය.

මේ අතර  ඊයේ (29)  දින පාර්ලිමේන්තුව රැස් විය. එහිදී 2020 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් 12 වැනිදා දෙවන වර හා තෙවන වර කියවා සම්මත කිරීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කළේය.

මේ අතර, කෝවිඩ් 19 අර්බුදය හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනයකට පමණක් සීමා කිරීමට ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.

ඒ අනුව ලබන නොවැම්බර් 03 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 12 දක්වා පමණක් පාර්ලිමේන්තුව රැස්වන අතර, එදින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත් කර ඇති නියෝග 02 ක් විවාදයට ගනු ලැබේ.

එදින මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරය සඳහා කාලය වෙන් නොකෙරේ.

මේ අතර පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයේදී මන්ත්‍රීවරයන්, ආරාධිත නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ කාර්‍ය මණ්ඩලය හැර වෙනත් කිසිවෙක් පාර්ලිමේන්තු සංකීරණය වෙත ඇතුළු වීමට ඉඩකඩ ලබා නොදීමටද තීරණය වී තිබේ.

ඒ අනුව ජනමාධ්‍ය නියෝජිතයන්ට ද පාර්ලිමේන්තු කටයුතු ආවරණය සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ නොලැබෙනු ඇත.

-ශානිකා-

Social Sharing
නවතම