හමුදාපති වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීම කළේ මම – සජිත්

වැඩ බලන ආරක්ෂක ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති ගමන් තහනම ඉවත් කිරීමට ලංකාවට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා සමඟ සාකච්ඡා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා අද (23) දින පාර්ලිමේන්තුවේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

එළැඹෙන ඔක්තෝබර් 28 වනදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා  මෙරටට පැමිණෙන අතර එහිදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ මහතා සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට නියමිතය.  ඒ නිසා එහිදී මේ පිළිබඳව සාකච්ඡා කර එම විදෙස් ගමන් තහනම ඉවත් කරවා ගැනීමට ක්‍රියා කරන ලෙස  විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේය.

මෙහිදි ඊට පිළිතුරු දුන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ එකී ගමන් තහනම පැනවූ දා සිටම විදේශ කටයුතු අමාත්‍යාංශය ඊට මැදිහත් වී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා රජයක් ලෙස මේ පිලිබඳ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා යවා ඇති බවත්ය.

එමෙන්ම මේ ගමන් තහනමට හේතු වුයේ පහුගිය ආණ්ඩු කාලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් ජීනිවා ගොස් මේ රට පාවා දීමට කටයුතු කළ නිසා යැයිද සිහිපත් කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ඒ බව අමතක නොකරන ලෙසය.

ඊට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශවේන්ද්‍ර සිල්වා මහතාට හමුදාපති දූරය ලබාදීම සඳහා ඔහුව නම් කරමින්, තීරණාත්මක මැදිහත්වීම කළේ තමන් විසින් බවය. අවශ්‍ය නම්  එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන්ම අසා දැනගත හැකි යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Social Sharing
නවතම