විපක්ෂ පොදු සන්ධානයකට සාකච්ඡා.

Negotiations for a common opposition alliance.

රටේ රාළ දිගටම කිව්වේ අපේ රටේ ඉදිරි දේශපාලන ගමන ප්‍රධාන බලවේග තුනක් විසින් තීරණය කරනවා ඇති කියලයි. එකක් අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව. අනික දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු විපක්ෂය. ඊට අමතරව රටේ රාළ දිගටම කියන පාර්ලිමේන්තුවෙන් එළියේ ගොඩනැගෙන මහජන විපක්ෂය. යම් වෙලාවක මේක පාර්ලිමේන්තුවෙත් එළියේ ගොඩනැගෙන මහජන කවුන්සිලයක් විදිහට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්.

ඒ මහජන කවුන්සිලය පාර්ලිමේන්තු විපක්ෂයත් එක්ක ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. සමහරවිට ආණ්ඩුවේ පිරිසක් ස්වාධීන වෙලා මහජන කවුන්සිලයත් එක්ක එකතු වෙන්නත් පුලුවන්. රටේ රාළ ඔය කියපු කිසිම දෙයක් අද හෙට සිද්ධවෙන දේවල් නෙවෙයි. හැබැයි මේ අවුරදු පහ ඇතුලේ සිද්ධවෙන්න පූළුවන් දේවල්. අනුර ජනාධිපති වෙලා මහ මැතිවරණයෙන් මාලිමාවට තුනෙන් දෙකක බලයක් එනකොට ගොඩක් අය හිතුවේ ආය මේ රටට මාලිමාවෙන් තොර ලෝකයක් නෑ කියලයි.

එහෙම හිතෙන මට්ටමටම විපක්ෂය හේදිලා ගියා. සමහරු දේශපාලනයෙන් සමුගත්තේ ආයෙත් නොඑන්න හිතාගෙන.හැබැයි මාලිමා මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු ආව පළවෙනි දවසෙම ඒ චිත්‍රය බොඳවුනා. කවුරුත් දැනගත්තා මේ ඇවිත් ඉන්නේ තොත්ත බබාලා සෙට් එකක් කියලා. ඒ එයාලගේ ආධුනික බව හින්දා නෙවෙයි.       කැන්ටිමෙන් කාලා කැන්ටිමත් කාලා ගිය හින්දත් නෙවෙයි. මෙයාලට vision එකක් නැති බව ලෝකෙම හරියටම දැන ගත්තේ එදා.

රැල්ලට ගහගෙන වැල්ලට ආපු රොඩු බොඩු ගොඩක් තමයි මාලිමාවෙන් පාර්ලිමේන්තු ගෙනත් තිබුණේ. ඒ හැදුන අඳුරු චිත්‍රය නැවත පාට කරගන්න තවමත් ජවිපෙට සහ මාලිමාවට බැරිවෙලා තියනවා. එදා ඉඳන් අද දක්වාම ජනතාව අතර මාලිමාව සහ ජවිපෙ ගැන තියෙන්නේ negative mind එකක්. මෙයාලා ඒක පහුගිය කාලේ තවත් වර්ධනය කළා. ඒක නිසා ආයෙත් සමාජය ඇතුලේ අලුත් දේශපාලන රිත්තකයක් නිර්මාණය වෙමින් තියනවා.

ඇත්තටම මේ නිර්මාණය වෙන ඉඩ අල්ලගන්නේ කවුද? ඊළඟට එන ප්‍රශ්න ඒක.විපක්ෂයට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු 66 ක් ඉන්නවා. ඒ අතර සජිත්, නාමල්, රවී, හර්ෂ, දයාසිරි, චාමර, මනෝ, රිෂාඩ්, හකීම්, දිගම්බරම්, රාසා, රෝහිණි, කබීර් වගේ කැපීපෙනෙන චරිත ඉන්නවා. එලියේ ගත්තත් එහෙම කෑපී පෙනෙන විශාල පිරිසක් ඉන්නවා. පාඨළී, නිමල් ලන්සා, කාංචන, අනුර ප්‍රියදර්ශන, ලසන්ත අලගියවන්න, වීරකූමාර, දුමින්ද, විමල්, ගම්මන්පිල වගේ අයත් සක්‍රීයවෙමින් තියනවා.

දැන් එජාපයේ නව මහ ලේකම් විදිහට තලතා පත් කරලා තියනවා. තලතාට රටේ රාළත් සුභ පතනවා. එජාපය පැත්තෙන් හිතද්දී තලතාට ලොකු වගකීමක් තියනවා. ඇත්තටම තලතට එජාප අනාගතය දකින්න පුළුවන් වෙන්න ඕනි. එජාප අනාගතය කියන්නේ සාගලවත්, වජිරවත් නෙවෙයි. ඒක රනිල්ටත් එහා යන එකක්. ඒක නිසා එක තැන පල්වෙන එජාපය එතනින් ගොඩ ගැනීම තමයි තලතාගේ වගකීම. එජාපය සමගි කිරීම තමයි තලතාගේ පළවෙනි පියවර වෙන්න ඕනි. තලතාට එජාප මහ ලේකම්කම දීම විසින් සජබ එජාප එකතුවකට තිබුණ අවස්ථාව තවත් ටිකක් ඈත්වුනා වෙන්නත් පුළුවන්.

ඒ වගේම අද වනවිට ආයෙත් සැලකිය යුතු සමාජ බලවේග ප්‍රමාණයක් සක්‍රීය වෙමින් තියනවා. කොහොම උනත් ආණ්ඩු විරෝධී දැවැන්ත ප්‍රවාහයක් ගොඩ නගන්න එක පාරට බෑ. ඒකට තව කාලය අවශ්‍යයි. ඒකට මාලිමාව තවත් ජනතාව අතර අප්‍රසාදයට පත්වෙන්න ඕනි.

දැන් මාලිමාව ජනතාව අතර සීග්‍රයෙන් අප්‍රසාදයට පත්වෙමින් තිබුණත් ඊට සමාන්තර විපක්ෂය ජන ප්‍රසාදයට ලක්වෙලා නෑ. ඒක නිසා ආණ්ඩු විරෝධී පොදු ප්‍රවාහයක් නිර්මාණය වීමේ විභවයක් දැනට පේන්න නෑ. එහෙම තත්වයක් උදාවෙනවා නම් උදා වෙන්නේ අගේස්තු පැනලා එහෙත් නැත්තම් වසර අවසානයේ. සමහරවිට ඉදිරි පලාත් සභා මැතිවරණය එනකොට සැළකිය යුතු ආණ්ඩු විරෝධී පොදු ප්‍රවාහයක් හැදීමට අවශ්‍ය තත්වන් මෝරලා තියෙන්න පුළුවන්.

මාලිමාව ඉන් මෙහා මහජන සුනාමියක් ගෙන්න ගන්නත් පුළුවන්.

ඉදිරියේදී ගොඩනැගෙන ආණ්ඩු විරෝධී පොදු ප්‍රවාහය වෙනුවෙන් දැන්මම අඩිතාලම දාගන්න දක්ෂ දේශපාලන පක්ෂවලට පුළුවන්. මෙතනදී විපක්ෂයට මඟ හරින්න බැරි කඩයිමක් බවට පලාත් පාලන මැතිවරණය පත්වෙනවා. මේ පලාත් පාලන මැතිවරණයේදී ගොඩක් පක්ෂවලට තරඟ කරන්න වෙන්නේ තනිවම. සමහරුන්ට එකතු වෙන්නත් වෙයි. ඒත් සජබයට, පොහොට්ටුවට, පොදුජන එක්සත් පෙරමුණ, එජාපය, මවිබිම ජනතා පක්ෂය තමන්ගේ අනන්‍යතාව යටතේ තරඟ කරන්න බොහෝ දුරට ඉඩ තියනවා.

ඇත්තටම පලාත් පාලන මැතිවරණය ඊළඟ පියවරට යන අඩිතාලම දාගන්න හොඳම අවස්ථාවක්. තරඟ කරන හැම පක්ෂයකටම හැම කොට්ඨාශයකින්ම නියෝජිතයෝ දෙන්නෙක් හැදෙනවා. ඒක හරියට නඩත්තු කර ගත්තොත් ආයෙත් බිඳ වැටිලා තියෙන පක්ෂ යාන්ත්‍රණ ශක්තිමත් කරගන්න පුළුවන්. ඒක නිසා විපක්ෂයේ ඉන්න ප්‍රධාන පක්ෂ තනියෙන් පාලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ සම්භාවිතාවය වැඩියි.

ඒ වගේම ඉදිරි පලාත් පාලන මැතිවරණයට විශාල ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණයක් තරඟ කරයි. මෙතනදී පලාත් පාලන මැතිවරණයේදි වෙනත් කණ්ඩායම් එකතු කරගන්න පුළුවන් පක්ෂ කීපයක් තියනවා. ගොඩක් වෙලාවට සජබය, පොදුජන එක්සත් පෙරමුණ, පොහොට්ටුව, මව්බිම ජනතා පක්ෂය සහ එජාපය වටේට යම් කණ්ඩායම් එකතුවෙයි. තලතාට එජාපය සමගි කරගන්න බැරී උනොත් එජාප ගොඩ දෙනෙක් සජබයට එකතු වෙයි. එජාපය සමගි වෙනවා නම් ආයෙත් රවීලට, නවින්ලට එජාපය ඇතුලේ සැලකිය යුතු ඉඩක් හැදෙන්න ඕනි.

ඒ වගේම මෙතනදි බිමි මට්ටමෙන් පොහොට්ටුව යම් ශක්තිමත් වීමක් වෙන්න පුළුවන්. විමල්, ගම්මන්පිලලාට පොහොට්ටුව එකතු වෙන්න බැරි විදිහට බැසිල් විමල් ගැටුම ආයෙත් ඇවිලිලා. ඇවිලිලා නෙවෙයි අවුලවලා. දේශපාලන තේරෙනවා නම් මේ නූල් සූත්තර කාගෙද කියලා තේරෙන්න ඕනි. ඇත්තටම මෙතනදී තවත් ශක්තිමත් බලයක් විදිහට ගොඩනැගෙන්න පුළුවන් කණ්ඩායමක් තමයි දැනට බෙදිලා ඉන්න ශ්‍රීලනිප කණ්‌ඩායම. එයාලට මේ මොහොතේ එකතු වෙන්න තියන එකම විකල්පය පොදුජන එක්සත් පෙරමුණ ඒ කියන්නේ පුටුව.

එතනදී බෙදිලා ඉන්න සියලු ශ්‍රීලනිප කණ්‌ඩායම්, අනුර ප්‍රියදර්ශන යාපා සහ නිමල් ලන්සා නායකත්වය දෙන කණ්ඩායම, කුසලානයේ සැලකිය යුතු කණ්ඩායමක් එතෙන්ට එකතු කරන්න පුළුවන්. ඇත්තටම පාඨළීට උනත් තැන තැන රස්තියාදු ගගහා ඉන්නේ නැතිව යන්න තියන හොඳ තැන එතන. දැනටත් ලසන්තලා, නිමල් ලන්සලා, අනුර ප්‍රියදර්ශනලා ඒ වෙනුවෙන් ලොකු වැඩ පටන් අරන්. මෙතනදී පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් විදිහට ලසන්ත අලගියවන්නට ලොකු වගකීමක් තියනවා.

ඒ තමයි තැන් කීපයක ඉන්න ශ්‍රීලනිප කණ්ඩායම එකට ගැට ගහගන්න එක. ඇත්තටම දයාසිරි එක්ක උනත් හොඳ ගනුදෙනුවක් ලසන්ත කරන්න ඕනි. දැනට දැනෙන විදිහට ඒ වෙනුවෙන් ලොකු උත්සාහයක් ලසන්ත ගන්නවා. අලුත් කණ්ඩායම් ගණනාවක් එක්ක ලසන්ත කතා කරලා තියනවා. කොහොම උනත් මේ කාලයේ හරි පදනමක් හදාගන්න කණ්ඩායමට ඉදිරියේ ලොකු වාසියක් තියනවා.

රටේ රාළ කිව්ව විදිහට පලාත් සභා මැතිවරණය වෙනකොට ආණ්ඩු විරෝධී පොදු සන්ධානයක් හැදෙන්න ඉඩක් නිර්මාණය වෙනවා. එතනින් තමයි විපක්ෂයට ඉදිරි ආණ්ඩු විරෝධී පොදු දේශපාලන සටනක් පටන් ගන්න වෙන්නේ.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

Social Sharing
අවකාශය නවතම