කොරෝනා යළි හිස ඔසවයිද?

කිසිදා අසා නොතිබුණු, කිසිදා අත්විඳ නොතිබුණු එහෙත් මුලු ලෝකයේම මිලියන ගණනින් ජිවිත ගොදුරු කර ගත්තා වූ ඒ වෛරසය විශේෂඥයින් නම් කළේ කොවිඩ් 19 ගෝලීය වසංගතය ලෙසිනි.

ශ්‍රී ලංකාවද ආක්‍රමණය කරමින් ජිවිත 13 ක් බිලි ගත් ඒ නොපෙනන මාරයාව මෙල්ල කිරීමට යම් තරමකට මෙරට සෞඛ්‍ය අංශ සමත් විය. මාස දෙකක් පමණ සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් හමු නොවු අතර හමු වු සියලු දෙනා විදේශයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්ය.

නමුත් වසංගත රෝග අංශය නිරන්තරයෙන් ජනතාවට සිහිපත් කර සිටියේ කොවිඩ් 19 අවදානම තවමත් පහ වී ගොස් නොමැති බවත් ඒබැවින් සෞඛ්‍ය උපදෙස් පිලිපැඳිම අනිවාර්ය බවත්ය. පහුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ පොත් ප්‍රදර්ශනයටද හැකිතාක් දුරට පැමිණිමෙන් වැළකී සිටින්නට කීවේ මෙහි ඇති අවදානම සැලකිල්ලට ගනිමිනි.

දැන් සමාජයේ කොවිඩ් 19 පිලිබඳ ඇති උනන්දුව අවම වී ඇති අතර පොදු ප්‍රවාහන සේවයේ ගමන් කිරිමේදි කිසිදු සෞඛ්‍ය උපදෙසක් නැති බව පෙනී යයි. දුම්රියේ ගමන් කළද එසේමය.

මේ අතර අද (04) උදෑසන වාර්තා වූයේ මෙරට සමාජය තුලින් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමු වී ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්  එම කාන්තාව මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇති බවත්ය.

එකී නිවේදනයට අනුව මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර  ඇති අතර එහිදී රෝගය සුවවී නිවසට යවන අවස්ථාවේදී සිදුකළ PCR පරික්ෂනයකින් ඇයට කොවිඩ් 19 ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.

ඒ අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 40 දෙනෙකු පමණ මේ වන විට නිවාස නිරෝධායනයට ලක් කර ඇත. තව දුරටත් ආශ්‍රීතයින් සිටින අතර එම කාන්තාවට කොවිඩ් 19 ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතී.

මෙම ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ලැබෙන PCR පරීක්ෂණ ප්‍රථිපල මත තවදුරටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (03) වනවිට 3395ක් දක්වා වර්ධනය වී තිබේ.

ඊයේ (03) දිනයේ දී අලුතෙන් කොවිඩ් 19 ආසාදිතයින් 07ක් වාර්තා විය.

කටාර් සිට එක් අයෙක් කුවේට් සිට දෙදෙනෙක්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි ඉන්දියන් ජාතික නාවිකයෙක් සහ තවත් පුද්ගලයෙක්, රතු මුහුද ප්‍රදේශයෙන් පැමිණි මුහුදු ආරක්ෂකයෙක් ඔමාන් සිට පැමිණි එක් අයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට 3254 ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් 128ක් රෝහල්වල ප්‍රතිකාර ලබයි.

-ශානිකා-

Social Sharing
නවතම