“ 20 ට බිය වන්න, විරෝධය පාන්න”

“ජනාධිපතිවරයාට දේශපාලන දැක්ම සපයන්නේ පහුගිය කාලය පුරාම අන්ත ජාතිවාදී අදහස් වල හිටපු චින්තන නඩයක්,” යයි ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාධර කේ.ඩබ් ජනරංජන සදහන් කළේ ප්‍රබුද්ධ ලංකා සංවිධානය විසින් සැප්තැම්බර් 22 අගහරුවාදා “විපත්  20 එපා”  මැයෙන් කොළඹදී පැවැත්වු  සම්මන්ත්‍රණයක් අමතමිනි.

ජනවාර්ගික වශයෙන් ඉතාමත් සංවේදී ස්ථානයක් වන රුවන්වැලිසෑය ඉදිරිපිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දුන්නේ එනිසා බවයි වන නීතිඥ ජනරංජන පවසන්නේ.

ජනාධිපතිවරයාගේ මතවාදී සහකරුවන් විසින් බලය පවත්වාගෙන යාම සඳහා මූලික කරුණු දෙකක් අවධාරණය කර ඇති බව ඔහු විසින් පෙන්වා දෙන ලදී.

“එකක් තමයි අපි යන්න ඕනේ සිංහල, බෞද්ධ රාජාණ්ඩු ක්‍රමයකට. ඒ අය උදාහරණයට දක්වන්නේ පණ්ඩුකාභය වගේ කාලෙකට අපි යන්න ඕනේ. අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවානම් පණ්ඩුකාභය යුගයේ තිබ්ච්ච රාජ්‍ය පාලනය සංකේතවත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕන”

දෙවැනි කරුණු ලෙස සුභසාධක රාජ්‍ය තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයාගේ මතවාදී සහකරුවන් විසින් පෙන්වා දී ඇති බව අනිද්දා කර්තෘ කේ.ඩබ් ජනරංජන අවධාරණය කරයි.

සුබසාධක රාජ්‍ය තවදුරටත් පවත්වාගෙන යන්නේ ජනතාවට විවිධ සහන ලබා දෙමින්, ජනතාවගේ දුප්පත්කම තව දුරටත් පවත්වා ගනිමින් ඔවුන්ගේ ඡන්ද ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී තමන්ට ගරා ගැනීමට බවයි සිවිල් සමාජ ක්‍රියාධරයා පවසන්නේ.

රජය විසින් මේ වන විට ඉදිරිපත් කර තිබෙන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ භයානක කම  අනුව ඉදිරියේදී සකස් කරන බව පවසන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙබදුදැයි සිතා ගත හැකි බවට පවසන කේ.ඩබ් ජනරංජන පෙන්වා දෙන්නේ   විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට බිය විය යුතු සේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් බිය විය යුතු බවයි.

එම බියේ ප්‍රතිඵලයක් ලෙස වැඩි වශයෙන් විරෝධය දැක්විය යුතු බව පවසන සිවිල් සමාජ ක්‍රියාධරයා තවදුරටත්  අවධාරණය කරන්නේ දැනෙන ප්‍රතිළුලයක් සදහා  විදීයට බැස විරෝධතා දැක්විය යුතු බවයි.

Social Sharing
නවතම