මහනුවර තවදුරටත් ප්‍රමිතියෙන් බාල ඉදිකිරීම් රැසක් හේතුවෙන් ජිවිත අවධානම් මට්ටමේ!

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති අනවසර මෙන්ම අවධානම් ගොඩනැගිලි සම්බන්ධයෙන් දින දහයක් තුල වහාම සමීක්ෂණයක් සිදු කර වාර්තාවක් සපයන ලෙස මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා භූ විද්‍යාඥයින්ට  සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර ඉංජිනේරුවන්ට ඊයේ (21) දින දන්වා ඇත.

මහුනවර, බුවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලක් නිවසක් මතට කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු මිය යාමේ සිද්ධියත් සමඟ මහනුවර පවතින අනවසර මෙන්ම අවධානම් ගොඩනැගිලි හේතුවෙන් පවතින අවධානම් තත්වය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීම සදහා මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා විසින් විශේෂ රැස්වීමක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී (21) පැවැත්වීය. එහිදී ඔහු මේ උපදෙස් ලබා දී තිබුණි.

මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා), පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මහනුවර නගර සභාවේ නාගරික ඉංජිනේරු, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ, ආපදා කළමනාකරණ මහනුවර මධ්‍යස්ථාන අධ්‍යක්ෂ, භූ විද්‍යා හා පතල් කර්යාංශයේ ප්‍රාදේශිය කළමනාකරු, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ස්ථාන භාර නිලධාරී ඇතුළු මහත්ම මහත්මීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී මහනුවර නගරය තුල පවතින අවධානම් මෙන්ම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිදරව් වී ඇති අතර විශේෂයෙන් රජයේ පවතින නීතී රෙගුලාසි අනුගමනය නොකරමින් සහ උපක්‍රමශීලී ලෙස නගර තුල අනවසර ඉදිකිරීම් සිදු කරනු ලබන බවත්, ප්‍රමිතියෙන් බාල ඉදිකිරීම් සදහා කිසිසේත් උචිත නොවන ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයෙන් දැඩි අවධානම් මට්ටමේ ඉදිකිරීම් වල ඇතැම් පිරිස් නිරත වී සිටින බව මෙහිදී අනාවරණය වී තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, අනවසර මෙන්ම අවධානම් ‍මට්ටමේ පවතින ගොඩනැගිලි සඳහා නීතීය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පවතින බවත් වර්තමානයේ ඉදිකරමින් පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙසත් නගරය තුල දැනට අවධානම් මට්ටමේ පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර එම ගොඩනැගිලි සම්බන්ධයෙන් නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසත්ය.

මේ අතර කඩා වැටුණ ගොඩනැගිල්ල ඉදිකිරීමට අවසර දීමේ ලේඛන පොලිස් පරික්ෂාවට ලක් කිරීමට නියමිතව ඇත.  මෙම ගොඩනැගිල්ලේ හිමිකරු වන දොඩම්වෙල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වන අනුර ලෙව්කේ මහතා කියා ඇත්තේ මෙම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියට නිසි අවසරක් ඇතිව සෑදු ගොඩනැගිල්ලක් බවය. මෙම නිවාස කඩා වැටීම ඇසින් දුටු සාක්ෂිකරුවන් වන්නේද ඔවුන්ය. මන්ද සිය නිවස ගිලා බසින බව දැනගත්  ඔවුන් නිවසින් පිටත්ව තප්පර කිහිපයක් තුල නිවස කඩා වැටීම නිසාය.

මහනුවර පිහිටා ඇති අවදානම් ගොඩනැගිලි, අනාරක්ෂිත ගොඩනැගිලි ගැන විවිධ පරිසර සංවිධාන කථා කළේ මීට පෙර සිටය. නමුත් කිසිවෙකු ඒ් පිලිබඳ අවධානය යොමු කළේ නැත. හන්තාන සුරැකීමේ සංවිධානයද පෙන්වා දෙන්නේ මහනුවර අවට අනාරක්ෂිත ගොඩනැගිලි රැසක් පවතින බවය. දැන්වත් මේ පිලිබඳ අවධානය යොමු කර අදාල බලධාරින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඉදිරියේදි මෙවන් අකල් මරණ වලට ගොදුරු  නොවෙනු ඇත.

-ශානිකා-

Social Sharing
නවතම