නව නීති ගෙන ඒමේ ක්‍රමවේදය ප්‍රජාතාන්ත්‍රික විය යුතුයි! – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

acts of parliament sri lanka

නීතිඥ දුලාන් දසනායක – ලේකම් අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ

රජය විසින් නව නීති ගණනාවක් මෑතදී සම්මත කර තිබෙන අතර මහජනතාවට හිතකර නීති මෙන්ම ජනතාවගේ අයිතීන් සීමා කරන අහිතකර නීති ද ඒ අතර තිබෙන බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ ලේකම් නීතීඥ දුලාන් දසනායක මහතා 2024 අප්‍රේල් 8වැනි දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය:

“ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවටයි, මෙවැනි නීති ප්‍රමාණයක් ඉදිරිපත් වෙන්නේ. නීතිඥවරුන්ගේ හමුවීමකදී ජනාධිපතිවරයා පවසා තිබුණේ තවත් නව නීති 40-50 අතර ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

“රජය මෑතදී සම්මත කළ මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත විවාද සම්පන්න පනතක්. එම පනත ඉදිරිපත් වු අවස්ථාවේදී අයිතීන් උදෙසා මාධ්‍යවේදීන් වන අප විසින් ඒ පිළිබඳව අපගේ අදහස ඉදිරිපත් කළා. එවැනි නීති ගෙන ඒමේදී මහජනතාව, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා කර ඉදිරිපත් කීරීම කළ යුතුයි. මහජනතාවගේ ජීවිතවලට සමාජ මාධ්‍ය විශාල බලපෑමක් කරන නිසා යම් නියාමනයක් අවශ්‍ය බවත් අප ප්‍රකාශ කළා. ඒ වගේම එවැනි නීතියක් පැනවීමේදී මහජනතාවගේ ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස රැකෙන පරිදි සිදුවිය යුතු බව ද පැවසුවා.

“අයිතිය උදෙසා මාධ්‍යවේදීන් ඉල්ලා සිටි පරිදිම මෙම පනත සංශෝධනය කිරීමට යෝජනාවලියක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබෙන අතර පාර්ලිමේන්තුවේදී එම සංශෝධන සහිතව නව පනත සම්මත වෙතැයි අප බලාපොරොත්තු වෙනවා.

“පනත් සම්මත කිරීමේ දී මෙවැනි ගැටලු මතුවන්නේ රජයක් ලෙස මහජනතාව සමඟ සාකච්ඡාවකින් තොරව හදිසියේ පනත් සම්මත කිරීමට යෑම නිසයි. පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ අදාල පනත ව්‍යවස්ථාවට පටහැනි ද යන්න විමසීම පමණයි. භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සමග බැඳුණු මෙම නීති රීති මගින් ඔවුන්ගේ ජීවිතෙවලට සිදුකරන බලපෑම ගැනත් රජය විමසිලිමත් විය යුතුයි.

“ලිංගික සම්බන්ධතාවලදී කැමැත්ත දැක්වීම සම්බන්ධ වයස් සීමා සහ තවත් කරුණු සංශෝධනය කිරීම සඳහා දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් ඉදිරිපත් වී තිබේ. රජයේ ආයතනයන් සමඟ ප්‍රමාණවත් සාකච්ඡාවකින් තොරව පනත් කෙටුම්පත් ඉදිරිපත් වන බවට මෙය හොඳ උදාහරණයකි. මෙම පනත සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පවා තමන්ගේ විරෝධය දක්වා ඇත. ඒ සමඟ සමාජයෙන් පැමිණි විරෝධතා හේතුවෙන් එම කෙටුම්පත ඉවත් කර ගැනීමට රජයට සිදුවිය. මෙවැනි ගැටලු සහගත තත්ත්වයන් මතුවීම තුළින් සමහර පනත්වල ඇති සාධනීය කරුණු මතු නොවනවා පමණක් නොව පනත් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට ද සිදුවේ.

“දුෂණ මර්ධන පනත රජය ගෙන ආ වැදගත් පනතක්. දූෂණයන් ගැන සමාජයේ මහජනතාව, විද්වතුන්, නීතිඥයින්, වෘත්තිකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් අතර විශාල සංවාදයක් තිබුණු අතර ඒ නිසාම විශාල ජනතා සහභාගිත්වයක් ඇති පනත සකස් වුණා. රටේ ප්‍රධාන නීතිඥවරුන්ගේ ද සාකච්ඡාවක් එම පනත ගැන ඇති වුනා. පාර්ලිමේන්තුවේදී ද ප්‍රමාණවත් සාකච්ඡාවක් පනත සම්බන්ධයෙන් ඇති වුනා.

“සත්‍යය, සමගිය හා සංහිඳියාව සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ. මෙම පනත සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාකච්ධාවක් ඇති විය යුතුය.

“සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ද ගැසට් කර තිබේ. මෙම පනත තවමත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර නැත. කලින් පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී එහි වූ වගන්ති කීපයක් සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක් සමාජය තුළින් මතුවිය. හදිසි නීතිය යටතේ තිබූ යම් නීති සාමාන්‍ය නීතියට එක් කිරීම එම විරෝධතාවයන්ට මතුවීමට හේතු විය. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙහි පාපොච්චාරණයන් සාක්ෂි ලෙස භාවිතා කිරීමට නොහැකි වීම, මානව හිමිකම් කොමිසමට දැනුම් දීමට සිදුවීම, මහේස්ත්‍රාත්වරුන්ගේ මැදිහත්වීම වැඩි කිරීම වැනි සාධනීය කරුණු ද තිබුණු නමුත් මෙම නිශේධනීය කරුණු හේතුවෙන් දැඩි විරෝධයක් ඇති විය.

2024 අප්‍රේල් මස 08 වන දින කොළඹ ජානකී හෝටලයේ දී පැවති අයිතිය උදෙසා මාධ්‍යවේදීන්ගේ මහ සභා වාරයෙන් පසුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් සභාපති අජිත් පැරකුම් ජයසිංහ, භාණ්ඩාගාරික රෝහණ සිරිවර්ධන, ජාතික සංවිධායක ජනුර් කිචිලාන් ඇතුළු පිරිසක් ද අදහස් දැක්වූහ.

 

® De Silva

Social Sharing
අවකාශය නවතම විශේෂාංග