ඔන්ලයින් පනතට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පපංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

එම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම් ඊයේ (25) කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජූලි මස 24 වනදා කැඳවන ලෙසයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකාව ආයතනය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කිරීමේදී පාර්ලිමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් සංශෝධන ඊට ඇතුළත් කර නොමැති බවයි.

ඒ, අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කළ ආකාරය සහ ඊට අත්සන් තැබීමට කථානායකවරයා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

Social Sharing
නවතම විශේෂාංග