කෙහෙළිය ඇතුළු සෞඛ්‍ය ලොක්කන්ට ඇප නෑ…

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම හා ඒ සඳහා ආධාර අනුබලදීම මෙන්ම කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනකු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අභයවික්‍රම වීරසිංහ මහත්මිය එම සැකකරුවන් හත්දෙනා ඇතුළු සැකකරුවන් නව දෙනා ලබන විසි අට වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළාය.

මෙහි අනිත් සැකකරුවන් දෙදෙනා වනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශනයි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනා තම අධිකරණයෙන් ඇප ඉල්ලා ඇතත් ඔවුනට එරෙහිව ඉදිරිපත් වී ඇත්තේ පොදු දේපොළ පනත යටතේ වන චෝදනා වන බැවින් ඔවුන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තම අධිකරණය තීරණය කර ඇතැයි මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කරමින් සඳහන් කළාය.

පෙර නඩු දිනයේදී තම අධිකරණය හමුවේ දස වන සැකකරු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක හා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ එකොළොස් වන සැකකාර වෛද්‍ය තුසිත සුදර්ශන වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී සුදුසු නියෝගයක් නිකුත් කරන බව ද මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය. එමෙන්ම පෙර නඩු දිනයේදී අධිකරණය අසලදී අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ කමන්ත තුෂාර නමැත්තාට කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම නඩුවේ පස්වැනි සැකකරුට මින් පෙර ඇප ලබාදී තිබුණු අතර නව වැනි සැකකරු රටින් පලා ගොස් තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත.

ඒ.ජේ.ඒ. අබේනායක

Social Sharing
නවතම පුවත්