මුහුදු කොල්ලකරුවන් පැහැරගත් ධීවරයින් මුදාගන්න සාකච්ඡා…

මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටින ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ ධීවරයින් ආරක්ෂිතව මුදා ගැනීම සඳහා සෝමාලියානු නාවික හමුදාව සමග සාකච්ඡා කරමින් ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වී කන්නනාදන් මහතා පැවසුවේ, ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති සේවයේ නිළධාරින් සමග එක්ව සෝමාලියාවේ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් අබ්දිවර්සමේ ඔස්මාන් මහතා සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි.

යුරෝපා සංගමයේ නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුම් මධ්යස්ථානය හරහා එම ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව මුදාගැනීමට හැකිවනු ඇතැයි සෝමාලියානු නාවික හමුදා ප්රධානියා පැවසූ බවද කෙන්යාවේ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, පැහැර ගැනුනු ශ්‍රී ලංකා ධීවරයින් කඩිනමින් මුදා ගැනීම සඳහා, සෝමාලියානු රජය කැපවී සිටින බව ද එරට බළදාරීන් පවසා ඇති බවයි.

සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැරගත් ශ්‍රී ලාංකික ධිවරයින් මුදා ගැනීමට සහය දෙන්නැයි තවත් මෙරට තානාපතිවරුන් රැසක් සෝමාලියානු බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

අප්‍රිකානු කලාපයේ ශ්‍රී ලංකා තානාපතිවරුන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලාංකික ධිවරයින් සමග බහුදින යාත්‍රාව මුදා ගැනීම සඳහා මැදිහත් වන ලෙසයි.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ, සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගත් බහු දින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන්නැයි බහරේනයේ පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම්දී ඇති බවයි.

ඊට අමතරව නාවික තාක්ෂණයෙන් බලවත් රටවලට ද ඒ පිළිබඳව දැනුම්දී ඇතැයි ශ්‍රි ලංකා නාවික හමුදාව සඳහන් කළා.

දික්ඕවිට වරායෙන් පසුගිය 12 වැනිදා මුහුදු ගිය ලොරෙන්සෝ පුතා 4 නමැති යාත්‍රාව සීෂේල්ස් රාජ්‍යය ආසන්න ජාත්‍යන්තර මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන ඇතැයි තොරතුරු වාර්තා වුණා.

සනුරි ද සිල්වා

Social Sharing
නවතම පුවත්