ඔන්ලයින් පනතට එරෙහිව කරූගෙන් රතු එළියක්!

online safety bill Karu Jayasuriya

සිවිල් සමාජයේ බහුතර ඉල්ලීමට සවන් දෙමින් මෙම මස 23 හා 24 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ශිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත එදින විවාදයට ගැනීමෙන් වැලකී නව පනත් කෙටුම්පතක් රටට හදුන්වා දෙමින් සම්මත කරගන්නා ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආණ්ඩුවෙන් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටී.

මාර්ගගත සුරක්ශිතභාවය පිළිබඳ පනත කිසිදු හවුල්කරුවෙකුගේ උපදේශනයකින් තොරව විසම්මුතිය හා ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් පලකිරීමේ අයිතිය යටපත් කරන පාලනයකට මගපාදන්නක් බව පිළිගත් දේශීය මෙන්ම විදේශීය සංවිධාන ගණනාවක් මේ වන විටත් පෙන්වා දී ඇති අතර, එමෙන්ම එහි ප්‍රකාශිත කෙටුම්පතෙහි වගන්ති ගණනාවක්ම සම්මත කරගත යුත්තේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් වන බවද තවත් වගන්ති කිහිපයක් කාරක සභා අවස්ථාවේදී සංශෝධනයට ලක්කිරීමට කටයුතු කරන්නේ නම් එකී වගන්ති පමණක් සරළ බහුතරයකින් සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ගැන ලබාදී ඇති අර්ථනිරූපනයෙහි දැක්වෙන බව එම ව්‍යාපාරය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ශේෂ්ඨාධිකරණය ඒ අර්ථ දැක්වීම සිදුකර ඇත්තේ එකී පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන්නේද යන්න කෙරෙහි පමණක් අවධානය යොමුකරවමින් වන බවද මෙහිදී අප සැලකිල්ලට ගත යුතුව ඇති අතර, මෙම කරුණු ද සැලකිල්ලට ගනිමින්, මෙම ඉල්ලීම සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද පිළිගත් ආයතන හා පුද්ගලයන් රැසක් මෙම පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ පදනම් කරගෙන බවද පවසයි.

ශ්‍රී ලංකා නීතීඥ සංවිධානය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා මාධ්‍ය සංවිධාන, වෘත්තීය සංව්ධාන හා වෘත්තීය සමිති මෙන්ම එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමක් මෙන්ම ලොව අන්තර්ජාල පහසුකම් සපයන ගූගල් හා අනෙකුත් සියළු ආයතන ද ඇතුළත් ආසියානු අන්තර්ජාල හවුල මෙන්ම ජාත්‍යන්තර නීතීඥ සංවිධානය ද පෙන්වා දී ඇති අදහස් ද එහිදී ගැඹුරින් අවධානයට ගන්නා ලද අතර, පසුගිය ඉරිදා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද 161 වන කතිකාව වැඩසටහනේදී මතුවූ අදහස් ගැනද පුළුල් අවධානයක් යොමුකරන ලදී.

එහිදී ඒ සියල්ලන්ම පොදුවේ පෙන්වා දී ඇති කරුණු වන්නේ මෙම පනත බලාත්මක වුවහොත් ඒ මගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ අදහස් පලකිරීමේ අයිතියට එල්ල කරන අති භයානක බලපෑම ගැනය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ද ඇතුළු පොදුවේ සමස්ත ආර්ථිකයට අත්කරදිය හැකි අනිටු ප්‍රතිවිපාක ගැන සිදුකර ඇති පුරෝකථනයන් හා අනතුරු ඇගවීම් ද බරපතළ බව ඉතා පැහැදිළිය.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ මොහොතේ ඉතාමත්ම අවධාරණයෙන් මෙන්ම සද්භාවයෙන් යුතුව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ යෝජිත මෙම පනත් කෙටුම්පත නියමිත පරිදි පාර්ලිමේන්තුවෙහි විවාදයට ගැනීම අත්හිටුවා විශේෂඥ අදහස් මෙන්ම පාර්ශවකරුවන්ගේ හා පොදු සමාජයේ ද අදහස් සැලකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පතක් රටට හදුන්වා දෙමින් සම්මත කරගැනීමට කටයුතු කරන ලෙසය.

www.colomboplus.lk

Social Sharing
අවකාශය නවතම