සම්බන්ධන් ජනපතිගෙන් ගොවී අයිතීන් ඉල්ලයි!

ජනාධිපති වරයා විසින් ප්‍රකාශිත පෞද්ගලික ඉඩම් පවරා ගැනීමේ ප්‍රතිපත්තියට පටහැනිව යමින් ජනාධිපති  කාර්ය සාධක බලකායේ සාමාජික හිමිනමක් සිදු කර තිබෙන තර්ජන හමුවේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ  අක්කර දහසක පමණ පාරම්පරික වී වගා භුමියක වගා  කටයුතු  ඇනහිට තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ  නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කාර්ය සාධක බලකායේ  සාමාජිකයකු වන අරිසිමලේ බෞද්ධ පන්සලේ වාසය කරන භික්ෂූන් වහන්සේ නමක්  බලහත්කාර බලය පා ලංකාවේ පුරවැසියන් පිරිසකගේ නීත්‍යානුකූල සුජාත අයිතීන් ප්‍රතිශෝධනය කර ඇති බවයි.

සිත්තම්පලා හා මහාදේව යන ගොවීන් දෙදෙනා අගෝස්තු 20 වැනිදා  ට්‍රැක්ටරයක් යොදා ගනිමින්    තම තමන්ගේ කැලෑ වැදුනු ගොවි බිම් සුද්ධ කරමින් සිටියදී අරිසිමලේ බෞද්ධ පන්සලේ වාසය කරන භික්ෂූන් වහන්සේ ගේ මැදහත්වීමෙන් ට්‍රැක්ටර් රියදුරා පොලිස් අත් අඩංගුවට ගත් අතර උසාවිය මගින් ඔහු  සැප්තැම්බර් 2  දක්වා රිමාන්ඩ් ගත කර තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායකයා  පවසයි.

අගෝස්තු 23 වැනිදා ත්‍රිකුණාමලය,  තිරියාය ගම් වැසියන්  තිරියාගේ පිල්ලෙයාර් – ගනපති කෝවිලට ආගමික උත්සවයක් සදහා  විශාල වශයෙන්  එක් රොක් වී සිටියදී  එම කෝවිලට පොලිසිය සමඟින් පැමිණ ඇති ඉහත  භික්ෂුව  රැස්ව සිටි ජනතාවට තර්ජනය කර  ඇත්තේ කිසිම ගොවියකු මින් මත්තට ඔවුන්ගේ ගොවිබිම් වලට නොයායුතු බවට යි.

යම් හෙයකින් ඔවුන් තම  ගොවි බිම්වලට  ඇතුල් වුවහොත් පෙර කී ට්‍රැක්ටර් රියදුරා අත්අඩගුවට ගෙන රිමාන්ඩ් කළ ආකාරයටම ඒ සැවොමත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන බවට අනතුරු අගවා ඇති බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දෙමළ  මන්ත්‍රීවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන් ය.

සිය ලිපිය මගින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පෙන්වා දෙන්නේ හිමිනමගේ තර්ජනය කිරීමෙන්  පසුව   කිසිදු ගොවියෙකු තමන්ගේ ගොවිබිම් වලට නොගිය අතර සැප්තැම්බර් 15 වැනිදාට පෙර නිමා කළ යුතු තමන්ගේ වගාබිම් සැකසීමේ කටයුතු කරගෙන යෑමට නොහැකිව සිටින බවයි.

ජීවිකාව පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩම්වලින් කිසිවකු ඉවත් නොකිරීම අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට ජනාධිපතිවරයා අගෝස්තු 20 ප්‍රකාශ කර තිබුනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නව සැසි වාරය අමතමින් කියා සිටියේ “නිසි විකල්පයකින් තොරව පරම්පරා ගණනාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කටයුතු කළ ඉඩම්වලින් කිසිවෙක් ඉවත් කරන්නේ නැහැ,” යනුවෙනි.

ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කයේ, තුච්චිවේලි ප්‍රදේශිය  ලේකම් කොට්ඨාශයයේ  තිරියායි ගම් පෙදෙසෙට අයත් ආත්තික්කාඩු, නීරවිකාන්ඩල්, පල්ලපාවන්ගායි, පට්ටනිපාති, කන්ඩාපානාවායයි හා පාවල්ලන්කාන්ඩාල් පිහිටි ඉඩම් වී ගොවිතැන සදහා  භූමිය සකසා ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ එම ඉඩම් විවිධ පුද්ගලයන් සතු පුද්ගලික ඉඩකඩම් බවයි.

ඇතැම් ඉඩම් සදහා පුද්ගලික ඔප්පු පවතින අතර  රජයේ අවසර පත් දරන්නවුන් හෝ උරුමයෙන් භුක්ති විදින්නවුන් ද ඒ අතර වන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින  ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම වගා භුමි පරම්පරා ගණනාවක් තිස්සේ මොවුන් විසින් වගා කටයුතු කරගෙන ආ ඉඩකඩම් බවයි.

එම  වගා භූමි පිළිබදව රාජ්‍ය ආයතන සතුව ලේඛනගත සාක්ෂි ද පවතින අතර  යුද්ධය හමාර වීමෙන් පසු යලි තමන්ගේ ගමට පැමිණි මිනිසුන්ගෙන් ඇතමෙක්  පසුගිය වසර වලදී තම ඉඩම් වල වගා කටයුතු අරඹා ඇති අතර අනෙක් පිරිස් මේ වසරේ දී වගා කටයුතු ඇරඹීම සදහා තම ඉඩම් සකසමින් සිටි  බව ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් ජනාධිපතිවරයාට දැනුම්  දී තිබේ.

අක්කර දහසක් පමණ වන මුලු භුමියෙන් අක්කර තුන්සීයක්  පමණ ඔප්පු සහිත පුද්ගලික ඉඩම්  වන අතර තවත් අක්කර තුන්සියයක  පමණ ඉඩම් වල අයිතිය රදා පවත්නේ රජයේ අවසරපත් දරන්නවුන් අත බව අවධාරණය කරන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඉතිරි අක්කර හාර සියයක් පමණ වන ප්‍රමාණය කාලාන්තරයක් තිස්සේ ඒවායේ වගාකරුවන් සතු උරුමය මත වගාකරන ඉඩම්  බවයි.

දශක කිහිපයක් ඇදී ගිය යුධ කාලපරිච්ඡේදයේ දී, මෙම  ඉඩම් වගා කෙරී නොතිබුනෙන්, ඒවා වසා ගෙන අධික ලෙස ලඳු කැලෑ ගහනයක් පැතිර පැවැති නිසා වගාවට පෙර ඒවා කපා සුද්ධ කළ යුතුව තිබුන  බව පවසන මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ  පසුගිය වසර වලදී මේ ඉඩම් වගා කරන ගොවියන් විසින් ඒවා එලි කිරීම කරගෙන ගිය අතර එයට මොනම ආකාරයකවත් විරෝධයක් මතු නොවු බවයි.

සැප්තැම්බර් මාසයේ මහ කන්නයේ වගා කටයුතු සදහා වැසි ඇදහැලීම ආරම්භ වීමට නියමිත හෙයින් සැප්තැම්බර් 15 වැනිදාට පෙර නිමා කළ යුතු තමන්ගේ වගාබිම් සැකසීමේ කටයුතු ජනාධිපති කාර්ය සාධක  බලකායේ සාමාජික හිමිනමගේ තර්ජනය හමුවේ  නවතා දැමීමට ගොවියන්ට සිදුව ඇති බව පෙන්වා දෙන ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා සිය ලිපිය මගින්   ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ පාරම්පරිකව හා දශක ගණනාවක් තිස්සේ කරගෙන ගිය අයුරින් තිරියායේ ගොවීන්ට තමන්ගේ වගාවන් කරගෙන යෑමේ හැකියාව සහතික වන අයුරින්, ඔවුන්ගේ වගාකිරීමේ අයිතීන්ට හරස්ව මෙම පූජ්‍ය භික්ෂුවගේ හෝ පොලීසියේ මැදහත්වීම් වලක්වාලීමට ඉක්මන් පියවර ගන්නා ලෙසයි.

ඔවුන්ගේ වී වගා බිම් සැප්තැම්බරයේ මැද වන විට වපුරා හමාර කළ යුතුව ඇති බැවින් එයට පෙර මැදහත් වීම අවශ්‍ය බව  මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට තව දුරටත්  සිහි ගන්වා තිබේ.

theleader.lk

Social Sharing
නවතම