ගංජා නීතිගත කිරීමෙන් දැවැන්ත සමාජයීය හා ආර්ථික පරාජයක්?

නව රජය පත් වීමෙන් පසු බෙංගමුවේ නාලක හිමියන් ආණ්ඩුවට යෝජනවාක් කර සිටියේය. ඒ් කංසා වගාව සඳහා ශ්‍රී ලංකාව ඉතාම සුදුසු රටක් බැවින් එම වගාව නීත්‍යානුකූලව බලපත්‍ර සහිතව සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවටය.

හොරෙන් වගා කරන අක්කර 10-15 පොලිසියෙන් අල්ලලා ගිනි තබන බවත් , ඒය බරපතළ අපරාධයක් බවත් ඒවා රාජසන්තක කර ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගන්නවා නම් හරිම වටින බවද උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණි.

ඊට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ඇතුලු බොහෝ දෙනෙකු විවිධ අදහස් කළ කර සිටියහ.

මේ අතර වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේද ගංජා පදනම් කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය කර අපනයනය කළහොත් සියලුම අපනයන භාණ්ඩවලට වඩා වැඩි විදේශ විනිමයක් උපයාගැනීමට හැකිවනු ඇති බවය.

මෙය පශ්චාත් උපාධි පර්යේෂණාත්මක නිබන්ධනයක් මඟින් මේ බව පෙන්වා දී තිබෙන බවත් විස්මයට පත්වන සටන් කලාවක් සහිතව ඉතා ශක්තිමත් ලෙස අධිරාජ්‍ය විරෝධීන්ට එරෙහිව සටන්වැදීමට කංසා භාවිත කළ නිසා බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ කංසා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ බව පැවැසූ අමාත්‍යවරයා ලෝකයේ වෙනත් රටවල කංසා ඉතා බහුල අපනයන භාණ්ඩයක් යැයිද පෙන්වා දී තිබු බව පහුගිය දිනවල මාධ්‍ය වලින් වාර්තා කළහ.

විෂ, අබිං හා අන්තරායක ඖෂධ ආඥා පනත මගින් ශ්‍රී ලංකාවේ  ගංජා වගා කිරීම හා භාවිතය තහනම් කර ඇත. මෙය අන්තරයක ඖෂධයක් ලෙස ඒ පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් මගින් ද වර්ගීකරණය කර ඇත. (The Single Convention on Narcotic Drugs of 1961 සහ  the United Nations Convention Against Illicit Traffic in Narcotic Drugs and Psychotropic Substances of 1988).

මොවුන්ගේ මෙම ප්‍රකාශ  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දුම්කොළ මධ්‍යසාර හා නීති වීරෝධි ඖෂධ  පිලිබඳ විශේෂ කමිටුව පෙන්වා දෙන්නේ මෙය ඉතාම වැරදි යෝජනාවක් බවය.

එම කමිටුව කියා සිටින්නේ මෙම වත්මන් රජය පමණක් නොව පසුගිය වසරේදී ද එවකට සිටි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යතුමන් ද මේ පිළිබඳව එවැනිම  ප්‍රකාශයක් කළ බවය. මෙම විෂය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් පවා පසුගිය වසරේදී  ඉදිරිපත් කළ බව 2019 පෙබරවාරි 2 දින ඩේලි නිවුස් පුවත්පත වාර්තා කර තිබුණ බවද මෙම කමිටුව පවසයි.

මීට සමගාමීව, බොහෝ සමාජ මාධ්‍ය සටහන්  සහ වීඩියෝ මගින් ද ගංජා භාවිතය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් ලෙස ප්‍රවර්ධනය කිරීමට උත්සහ ගන්නා පවතිමින් සිටින අතර  රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ එක්ව ගංජා ආශ්‍රිත  තෙල් නිෂ්පාදනය කිරීමට පෞද්ගලික සමාගමක් විසින් කරන ලද යෝජනාවක් සහ ඒ වෙනුවෙන් ගංජා වගා කිරීම සඳහා විශේෂ නිල අවසරයක් ලබාගැනිමට කරනු ලබන උත්සාහයක් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දුම්කොළ මධ්‍යසාර හා නීති වීරෝධි ඖෂධ  පිලිබඳ විශේෂ කමිටුව ප්‍රකාශ කර සිටියි.

ගංජා භාවිතයෙන් සිදුවන මානසික විකෘති තත්ත්වය නිසා සිය දිවි හානි කරගැනීම් සහ ස්වයං හානිකර ගැනීම් බහුලව සිදුවදැනටමත් සියදිවි හානි කරගැනීම අතින් ප්‍රමුඛ ස්ථානයක ඇති ශ්‍රී ලංකාව තවදුරටත් අගාධයකට වැටීම වලක්වා ගතයුතුය.

මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ, සාමාන්‍ය පුද්ගලයන්ගේ භාවිතය සඳහා ගංජා වගාව නීතිගත කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ද  දැවැන්ත පීඩනයක් පවතින මොහොතක වන බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක  පෙන්වා දි තිබේ.

ඇතැම් ආයුර්වේද ඖෂධ සඳහා පවතින අවශ්‍යතාවය සලකමින්,  ශ්‍රී ලංකාව තුල වෛද්‍ය භාවිතය සඳහා පමණක් ගංජා යොදාගැනීමට නීතියෙන් අවසර ලබා දී තිබෙන අතර  ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය  ඖෂධ  වෙනුවෙන්  ගංජා සැපයීමට දීර්ඝ කාලයක් පුරා පැවතෙන වැඩපිළිවෙලක්  ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන හෙයින්  ශ්‍රී ලංකාව තුළ ගංජා වගාව නීතිගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද මෙම විශේෂ කමිටුව මඟින් අවධාරණය කර සිටියි.

මෙහිදී, ආයුර්වේද වෛද්‍යවරුන්ට අවශ්‍ය සැපයුමේ හිඟයක් ඇත්නම් එම හිඟ අවශ්‍යතාවය ඉතා දැඩි කොන්දේසි යටතේ ආනයනය කිරීම වැනි  විකල්පයන් පිළිබඳව රජයට සොයා බැලිය හැකි බවත්  ඒ වෙනුවට ගංජා  වගාවට ඉඩ දුනහොත්  එය සාමාන්‍ය ජනතාව අතරට යාම වැළැක්විය නොහැකිවනු ඇති බවද මෙම වෛද්‍ය සංගමය පෙන්වා දී සිටියි.

193 කට වැඩි සංඛ්‍යාවක් වන එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතරින් රටවල් දෙකක් පමණක් සහ වෙනත් රටවල් කිහිපයක ප්‍රාන්ත හෝ දිස්ත්‍රික් කිහිපයක් පමණක් මත්ද්‍රව්‍යක් ලෙස ගංජා භාවිතය  නීතිගත කර ඇති අතර  එවැනි නීතිගත කිරීමකින් සිදුවන්නේ මහාපරිමාණ  ගංජා නිෂ්පාදන ස්ථාපිත වීම  සහ මෙම සමාගම් බහුජාතික සමාගම් ලෙස ප්‍රවර්ධනය වීම බවත්  බලවත් බහුජාතික දුම්කොළ හා මධ්‍යසාර සමාගම් දැනටමත් ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කරමින්  එවැනි සමාගම්වල හවුල්කරුවන් බවට පත්ව ඇතැයිද මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසයි.

මෙම විශේෂ කමිටුව පවසන ආකාරයට මේ වනවිට ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වැඩිපුරම භාවිතා වන මනෝ ක්‍රියාකාරී නිෂ්පාදනය වන්නේ ගංජා ශාකය වේ. ලොව පුරා තරුණ තරුණියන් විසින් බහුලව භාවිතා වන නීති විරෝධී ඖෂධය ද මෙයය. මෙහි ඖෂධිය වැදගත්කම ගැන බොහෝ ප්‍රකාශ නිකුත් වූවද , ගංජා ආශ්‍රිත ඖෂධ මගින් සුව වන්නේ යයි පැවසෙන රෝග ප්‍රමාණය ඉතා ස්වල්පයක් පමණකි. එමෙන්ම එම රෝග සඳහා ගංජා භාවිතා නොකර භාවිතා කල හැකි  ඖෂධ බොහොමයක්ද ලෝකයේ ඇත.  යම් රසායනිකයක් රෝගයකට ප්‍රතිකාර කිරීමේදී යහපත් බලපෑමක් ඇති කල ද  එම රසායනය මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කිරීම සඳහා ඉඩලබාදීම සුදුසු නොවේ. උදාහරණයක් ලෙස, පොපි ශාකයේ සාරය සහ එහි රසායනික ව්‍යුත්පන්නයන් ලොව පුරා වේදනා නාශක ඖෂධ ලෙස බහුලව භාවිතා වේ. නමුත් මෙම ශාකයෙන්ම ලබාගන්නා හෙරොයින් මත්ද්‍රව්‍යක් ලෙස භාවිතය සඳහා ප්‍රවර්ධනය කළ යුතු බව කිසිවෙක් පවසන්නේ නැත..

තවද , ගංජා භාවිතයෙන් සිදුවන සෞඛ්‍යමය හානි බොහොමයකි .මානසික අවපීඩනය, භින්නෝන්මාදය වැනි මානසික රෝග මෙන්ම බරපතල ශ්වසන අබාධ ද මෙනිසා ඇතිවේ. එය නව යොවුන් වියේ දරුවන්ගේ මොළයේ වර්ධනයට ද  හානිකර ලෙස බලපායි. එමෙන්ම

ගංජා ආශ්‍රිත රසායනික ද්‍රව්‍ය ඉහළ සාන්ද්‍රණ වලින්  ජනතාව විසින් පරිභෝජනය කරන විට මෙම රෝගී තත්ත්වයන් මෙන්ම අනෙකුත් රෝගාබාධ ද වැඩි වශයෙන් දැකගන්නට ලැබෙනු ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ ගංජා පරිභෝජනය අඩු කිරීම සඳහා සියලු පියවර ගන්නා ලෙසත්, දැනට ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට ඉඩ නොදෙන ලෙසත්  මෙම කමිටුව රජයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම, ගංජා භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකරන සමාජ මාධ්‍ය සහ ගංජා ප්‍රවර්ධනය කරන්නන් සඳහා නීතිය දැඩිලෙස  ක්‍රියාත්මක කරන ලෙස ද  ඉල්ලා සිටින අතර  ශ්‍රී ලංකාව දැනටමත් සිගරට් සහ මත්පැන් වැනි නීති විරෝධී නොවන මත්කාරක මෙන්ම හෙරොයින් වැනි නීති විරෝධී මත්ද්‍රවය නිසා ද  අධික ලෙස පිඩා ලබමින් සිටින බවත්  මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර කරගැනීම කිසිසේත් සිදුනොවිය යුතු බවද ඔවුන් රජයට අවධාරණය කර සිටියි.

කිසියම් ආකාරයක ගංජා නීතිගත කිරීමක් රට තුළ සිදුවුවහොත් එය මාරාන්තික කර්මාන්තයකට ලබාදෙන  විශාල ජයග්‍රහණයක් වනු ඇති අතර සියලු ශ්‍රී ලාංකිකයින්ට අත්වන දැවැන්ත සමාජයිය හා ආර්ථික පරාජයක් වනු ඇතැයිද වැඩිදුරටත් ඔවුන් සඳහන් කර සිටියි.

-ශානිකා-

Social Sharing
නවතම විශේෂාංග