වංචා දූෂණ සිදු කරන පුද්ගලයන්ට දඬුවම් දීමට පියවර ගත යුතුයි…

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව සක්‍රිය වී, වංචා දූෂණ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් දීමට පියවර ගත යුතු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) ප්‍රකාශ කෙළේය.

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කොටුම්පත යනාදි පනත් කෙටුම්පත් පිළිබඳව වූ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තවදුරටත් මෙසේද පැවසීය.

වංචා දූෂණ අක්‍රමිකතාවන් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පූර්ණ බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට ලබාදී තිබිය දී එය සක්‍රියව ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන්න ගැටලුවක්.

සිවිල් නඩු ඉක්මනින් අවසන් කිරීමට පසුගිය කාලයේ තීරණ ගණනාවක් ගත්තා. සුළු හිමිකම් අධිකරණය අලුතින් ඉදි කළා. මූල්‍ය සීමාව නියම කිරීමට උපරිම සීමාව රුපියල් ලක්ෂ 20ක් දක්වා ගැසට් පත්‍රය මඟින් නියම කර තිබෙනවා. රුපියල් මිලියන 2කට අඩු දිසා අධිකරණයේ පවරන සිවිල් නඩු මින් ඉදිරියට සුළු හිමිකම් අධිකරණයේ පැවැරීමට පියවර ගෙන තිබෙනවා. නඩු පිටපත් ලබා ගැනීම සම්බන්ධයෙන් ද ගැටලු පවතිනවා. මැතිවරණ පෙත්සමක් යම් අයෙකු ඉදිරිපත් කරන්නේ නම් දින 21 තුළ එය කළ යුතුයි. 2023 අංක 03 දරන මැතිවරණ වියදම් පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒ අනුව මැතිවරණයට ඉදිරිපත් වන යම් අපේක්ෂකයකුට දැරිය හැකි වියදම් ප්‍රමාණය සීමා කර තිබෙනවා.

ඒ මුදල් ප්‍රමාණය ඉක්මවා නොයා යුතුයි. මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතත් අද සභාවට ඉදිරිපත් කරනවා. අගතියට පත් පාර්ශ්වයකට මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කාල ප්‍රමාණය මදි. ඒ අනුව දින 21 වෙනුවට දින 41 දක්වා වැඩි කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ පත් කිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙන බවට පක්ෂ විපක්ෂ කණ්ඩායම්වලින් කිය වුණා. ඒක ඇත්ත. මේ පනත වසරකට වැඩි කාලයක් පුරා වෙහෙසකර කාර්යයක යෙදී එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියටත් අනුකූලව ජාත්‍යන්තර විශේෂඥයින් පවා මෙය කියවා බලා පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත්තා. ඒ සඳහා බාධා තිබුණා. ජනතා ජයග්‍රහණයක් සනිටුහන් කරමින් එය සම්මත කර ගත්තා. පත් කිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සෙසු පනත් අර්ථ නිරූපණය කළ යුතුයි. සිස්ටම් චේන්ජ් එකක් ජනතාව ඉල්ලුවා. එවකට ආණ්ඩුවට එය කිරීමට නොහැකි වුණා. මහජන විප්ලවයක් සිදු කර එවකට පැවති ආණ්ඩුව ගෙදර යැව්වා. අපි වගකීම් ගත්තා. අපට ඔරොත්තු නොදෙන විදියේ වගකීම් රැසක් අපි ගත්තා. භාණ්ඩාගාරයේ එක ඩොලරයක්වත් ඒ වන විට තිබුණේ නැහැ. අද වන විට මේ තත්ත්වයට ගෙන ඒමට අපට හැකි වුණා. ඒ සඳහා ජනතාවත් උදව් කළා. අද රට හුස්ම ගන්නා බවක් තේරෙනවා. ආර්ථිකය කඩා වැටුණු ලෝකයේ රටවල් 30, 40ක් අතර වසරක් තුළ මේ තත්ත්වයට ශ්‍රී ලංකාවට පත් වීමට හැකි වීම ගැන ජාත්‍යන්තරයෙන් අපට ලොකු ප්‍රශංසාවක් ලබාදී තිබෙනවා.

මැතිවරණ දූෂණ පනත සම්මත කළා. එහි කිසිදු වැරැද්දක් නැහැ. පාර්ලිමේන්තුවට පැමිණෙන පිරිස ෆිල්ටර් කරලා ගෙනා යුතුයි. වංචා දූෂණ වැළැක්වීමේ පනත් ගේන විට විපක්ෂය ඊට විරුද්ධයි. එහෙම විරුද්ධ වෙලා අද විපක්ෂ නායකවරයා කියනවා වංචා දූෂණ කරන පිරිසක් ආණ්ඩුවේ ඉන්නවා කියලා. එහෙම ඉන්න සහාය දෙන්නේ විපක්ෂයමයි. ඊට පස්සේ එයාලම ඒක චෝදනා කරනවා. වංචා දූෂණ වැළැක්වීමේ කඩුව මේ කොමිෂන් සභාවට දීලා තිබෙනවා.

Social Sharing
නවතම පුවත්