ඩිස්කෙඩේ අම්මට ඩිස්කාඩේ

Schooling in Sri Lanka

– අජිත් පැරකුම් ජයසිංහ-

පාසල්වාදය ලංකාවේ අධ්‍යාපනය තුළ උඩු දිවූ පිළිකාවකි. වර්තමානයේ ඊනියා නිදහස් අධ්‍යාපනය පිළිබඳ තර්ක ඉදිරිපත් කරමින් පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ නොදෙන බොහෝ දෙනෙකු ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලැබූ අයයි. පාසල්වාදී ගෝත්‍රවාදය සඟවාගෙන සිටින මොවුන් රැඩිකල් අවකාශයේ ප්‍රභූන් වී සිටින්නේ ද පාසල්වාදය මත පදනම්වය. පුබුදු ජයගොඩ, විදර්ශන කන්නන්ගර, රමිඳු ලකික පෙරේරා, නිර්මාල් දේවසිරි වැනි අය උදාහරණ ලෙස සැලකිය හැකිය.

ආචාර්ය හරිනි අමරසූරිය මේ සඳහා කදිම උදාහරණයකි. ඇය ඉගෙනගන්නේ ලංකාවේ රජයේ ආධාර ලබන, මුදල් අය කරන අගනාගරික ප්‍රභූ පාසලක් වන බිෂොප් විද්‍යාලයෙනි. මෙවැනි පාසල්වල ඇතුළත් වීමේ ගාස්තු ඉතා අධික වන අතර, ඇතුළත් කරගන්නා පදනම් ඉතා ගෝත්‍රික හා ප්‍රජාතන්ත්‍රවාදී නොවන, සියල්ලන් ඇතුළත් කර නොගැනීම මත පදනම් වූ ඒවාය. එහෙත්, මේ පාසල් ද රජයේ ආධාර ලබාගනියි. ඇය ප්‍රථම උපාධිය පවා ලබාගන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයකින් නොවේ. එහෙත්, ඇය පාර්ලිමේන්තුවට පත්වීම හා ඇතැම් විට අනාගත රාජ්‍ය නායිකාවක ද වීම සඳහා පාර කපාගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ උද්ඝෝෂණවලට එක්වීමෙනි. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දීර්ඝ කාලීන දේශපාලනික පරිචයක් සහිත නායකයකු වන අනුර කුමාර දිසානායක සමග ඇය සමාන්තරගත වන්නේ ද එකී ප්‍රභූ පාසල්වාදය මත පදනම් වූ ශක්තිය භාවිතා කරමිනි.

පාසල්වාදයට ආර්ථික පදනමක් තිබේ. ඒ වනාහි ජනප්‍රිය පාසල්වල අධ්‍යාපන අවස්ථාව දිනාගෙන, ඒ මත පදනම්ව තරගකාරී පදනමින් විශ්වවිද්‍යාල විසින් නොමිලේ සපයනු ලබන අධ්‍යාපන අවස්ථාව ද ලබාගැනීමයි. ජනප්‍රිය පාසලක ස්ථානය තහවුරු කර නොගෙන දෙවන අරමුණ ඉටු කරගත නොහැකිය.

වෛද්‍ය, ඉංජිනේරු, නීති වැනි උපාධි හදාරන සිසුන් අතරින් අති බහුතරය ජනප්‍රිය පාසල්වල ආදි ශිෂ්‍යයෝ වෙති. ඔවුන් තරගකාරී උසස් පෙළ විභාගය සමත් වන්නේම හොඳම අධ්‍යාපන අවස්ථා සහ ටියුෂන් මුල සිටම ලබාගැනීමේ වරප්‍රසාදය ඔස්සේය. එම වරප්‍රසාදය හැම විටම ලබාගන්නේ පදිංචිය පදනම් කරගෙන නොවේ. ප්‍රභූ පවුල්වල ළමයින් ජනප්‍රිය පාසල්වලට අවශෝෂණය කරගැනීමටත්, නිර්ප්‍රභූ පවුල්වල ළමයින් ඒවායින් බැහැර කිරීමටත් හැකි වන පරිදි නිලධාරීන් විසින් නීති, රෙගුලාසි, චක්‍රලේඛ ආදිය සම්පාදනය කර තිබේ.

මෙහි තිබෙන කොල්ලකාරී ස්වභාවය වන්නේ පොදු අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති මහජන මුදලින් වැඩි පංගුවක් වඩා ධනවත් පිරිස් විසින් බලෙන් අත්පත් කරගනිමින්, අත්‍යවශ්‍ය සමාජ තීරයකට එය අහිමි කිරීමයි. මෙම ධනවතුන්ට වටිනාකම් එකතු කළ සේවාවක් රජය විසින් නොමිලේ සපයනු ලබන අතර, ජනප්‍රිය පාසල් අහිමි වන පිරිසට බොහෝවිට ලැබෙන්නේ වටිනාකම අඩු කළ සේවාවකි.

රජයේ ජනප්‍රිය පාසල්වාදීන් කයිවාරු ගසන්නේ එය අහිමි වූවන්ගෙන් මංකොල්ල කන ලද මහජන මුදල් හා අවස්ථා පිළිබඳ බව ඔවුන් අවබෝධ කරගත යුතුය. එය කයිවාරු ගැසීමට තරම් දෙයක් නොව, හිඟන්නාගේ කොළපතෙන් මංකොල්ල කෑමේ ලජ්ජා විරහිත තත්වයකි.

පාසල්වාදයට විසඳුම නම්, මහජන මුදලින් ලබාදෙන පොදු අධ්‍යාපනය කාටත් සමාන අන්දමින් පදිංචිය හා දක්ෂතාව මත පමණක් පදනම්ව ලබාදීමයි. පාසල්වලට සිසුන් බඳවාගැනීමේ ආදි ශිෂ්‍ය පදනම අහෝසි කර දැමීම මෙහිදී ගත හැකි රැඩිකල්ම පියවරකි. රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල පහසුකම් අවට පාසල් සමග බෙදාහදා ගැනීම නීතිගත කරමින් පොකුරු පාසල් පද්ධති පිහිටුවිය යුතුය. උදාහරණයක් ලෙස, ලංකාවේ සෑම පාසල් සිසුවකුටම පිහිනුම් තටාකයක් භාවිතා කිරීමේ අවස්ථාව ලැබිය යුතුය. පොකුරේ සියලු පාසල්වල නාමයන් පවා අනුබද්ධ ප්‍රධාන පාසලේ නාමය බවට පත් කළ යුතුය. පොකුරේ සියලු පාසල්වල සිසුන්ට සමාන පාසල් සහතික ලබාදිය යුතුය.

සමාජවාදය ජීවන විලාසයකි. සමාජවාදය මේ මොහොතේම ආරම්භ කළ හැකිය. අධ්‍යාපනයේදී වැදගත් වන්නේ මුදල් අය කරනවාද, නැද්ද යන්න නොවේ. සැමට සමාන අධ්‍යාපන අවස්ථා ලැබේද යන්නයි. මුදල් ගෙවිය හැකි අයට මුදල් ගෙවා වටිනාකම් එකතු කළ සේවා ලබාගැනීමේ අවස්ථාව ලබාදිය යුතුය. මුදල් නොමැති අයට ද ගුණාත්මක අධ්‍යාපනයක් මහජන මුදලින් ලබාගැනීමේ අවස්ථාව තිබිය යුතුය. එහෙත්, වටිනාකම් එකතු කළ සේවා ධනවතුන්ට පමණක් මහජන මුදලින් ලබාදීම මංකොල්ලයකි.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග