සජීවද? යෝෂිතද? පරිසර දේශපාලනයේ අලුත් ප්‍රශ්න – 1 කොටස

නෙළුව ලංකාගම සිට සිංහරාජ වනාන්තරය ඔස්සේ දෙනියායට දිවෙන මාර්ගයක් යුධ හමුදාව මගින් කඩිමුඩියේ කැප්පවීමට ගෙන තිබූ ක්‍රියාමාර්ගයට එරෙහිව පරිසර ක්‍රියාකාරිකයකු වන සජීව චාමිකර මහතා පෙරට ආවේය. ප්‍රථමයෙන්ම ඒ මහතාට රටේ ගෞරවය හිමි විය යුතු බව සදහන් කරමි. මේ ප්‍රශ්නය ගැන තම අදහස් ඉදිරිපත් කිරීමට පැවැති මාධ්‍ය සාකචඡාවේදී සජීව මහතා ඉදිරිපත් කළ බොහෝ කරුනු අතරින් එක් කරුනක් අල්ලාගෙන සිටින අගමැති පුත් යෝෂිත රාජපක්ෂ මහතා අසත්‍ය ප්‍රකාශ මගින් අපහාස කිරීම පිළිබද චෝදනා කරමින් සජීව මහතාගෙන් කෝටි 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත. දැන් කවුරුත් කතා කරන්නේ මේ එන්තරවාසිය ගැනය. පරිසර ක්‍රියාකාරිකයන් විසින් මතු කරන ලද සිංහරාජය වැනසීමට අදාල මූලික ප්‍රශ්න යට යමින් තිබේ.

යෝෂිත මහතාගේ එන්තරවාසිය හේතුකොට ගෙන මෙම පරිසර ඝාතක මාර්ග ව්‍යාපෘතියේ ගොරතර බව දශමයකින්වත් අඩුවන්නේ නැත. සජීව මහතා පෙන්වා දුන්නේ මේ මාර්ග ව්‍යාපෘතිය රටේ ස්ථාපිත පරිසර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදු කරන්නක් බවය. ජාතික උරුම හා වන භූමි පනත හා ජාතික පරිසර පනත එසේ උල්ලංඝනය වන නීතීන්ය. එසේම ඉඩම් ප්‍රතිසංස්කරන කොමිෂන් සභාව සතු රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව සිංහරාජයට ඈදිය යුතුව තිබෙන ඉඩම් එසේ ඈදීම අඩපන කරමින් නොයෙකුත් අන්දමින් අවභාවිතා කරන බවද ඉහතා මාධ්‍ය සාකචඡාවේදී පෙන්වා දෙන ලදී. සජීව මහතා  ඉස්මතු කර ඇත්තේ මේ පරිසර ප්‍රශ්නයට අදාල රටේ පුරවැසියන් දැනගත යුතු පිළිතුරු ලබා ගත යුතු ඉතා වලංගු ප්‍රශ්න කිහිපයකි.

මේ පාර කපන්නට අනුමැතිය දුන්නේ කවුද? පනත් වලට අනුව ලබා ගත යුතු අනුමැතිය පරිසර අධිකාරිය ඇතුලු රාජ්‍ය ආයතන වලින් මේ ව්‍යාපෘතිය සදහා ලබාගෙන තිබේද? පාර කැපීමට හමුදාව යෙදවූයේ ඇයි?  ඒ සදහා නියෝග දුන්නේ කවුද? හමුදාව යොදවා පාරක් කපන්නට තරම් ආපදාවක් වැනි හදිසි අවශ්‍යතාවක් එතන තිබුනාද? එසේ නැති බව පැහැදිලි බැවින් මේ කඩිමුඩියට හේතුව  කුමක්ද? පරිසර විෂය භාර ඇමති මහින්ද අමරවීර මහතා මේ ගැන කියන්නේ කුමක්ද? මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීම සදහා තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමක් රාජ්‍ය අධිකාරීන් වෙත යොමු කොට ඇත්තේ මොන ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියාද? ඊළග පාර්ලිමේන්තු සභාවාරයේදී මේ ගැන ප්‍රශ්න කෙරෙනවාද?  මේවාද වලංගු ප්‍රශ්නය.

හෝටල් නම් බොහෝය. සිංහරාජ වන ඇත්තේ එකම එකක් පමණය

දැන් සජීව මහතාට එරෙහිව අපහාස නඩුවක් වුව වැටෙන්නට ඉඩ ඇති නිසා ඒ මහතා යෝෂිත මහතා සම්බන්ධව කර ඇති ප්‍රකාශය ගැන යමක් දැනට මෙහි නොලියමි. නමුත් හෝටල් ප්‍රශ්නය මේ පරිසර අර්බුදයට තදින්ම සම්බන්ධ බව මම තදින්ම විශ්වාස කරමි.

මට අතීත සිදුවීමක් සිහිපත් වේ. අප සරසවි සිසුන් සමයේ ලියනගේ අමරකීර්ති, බුලිත ප්‍රදීප්, රාජිත දිසානායක සහ මා ඇතුලු මිතුරු පිරිස නිතර ආගිය එක්තරා මහ පන්සලකින් පාලනය වූ කුඩා විහාරයක් කොළඹ තදාසන්නයේ තිබිණි. අප එහි ගියේ එතැන තාවකාලිකව වැඩ විසූ කලාවට සම්බන්ධ වූ හිමිනමක් අපගේ ළඟ මිතුරකු වූ නිසාය. මේ පන්සල් ඉඩම දාන පතියකු විසින් අර මහ පනසලට පූජා කරන ලද රූස්ස කොස් ගස් රාශියකින් වට වූ සාරවත් භූමියකි. දිනක් අප එහි යන විට මහ පන්සලේ නායක හිමියන් පැමිණ කොස් ගස් සියල්ල කපා දමා තිබිණි. ඒ ඇයිදැයි අප ඇසූකල ඒ හිමියන් පැවැසූවේ “පන්සල ලොකු කරලා හදන්න මුදල් ලබා ගැනීමට” ගස් කැපූ බවය. ඒ ගැන නායක හිමියන්ට අපගේ නොසතුට පළ කළ අමරකීර්ති ඉරිදා පුවත් පතකට ලිපියක් ලියමින් පැවැසුවේ “අපට පන්සල් නම් ඕනෑතරම් තිබෙනවා. කොස් ගස් තමයි අඩු” යනුවෙනි. මෙය දුටු අර නායක හාමුදුරුවෝ අපට එම පන්සලට පැමිණීම තහනම් කළහ. දැන් කියන්න තිබෙන්නේ අපට හෝටල් නම් ගොඩක් තිබෙනවා. තව හදාගන්නත් පුලුවන්. නමුත් සිංහරාජ වනාන්තර ඇත්තේ එකක් පමණයි යන්න නොවේද?

සිංහරාජ වානාන්තර වටා සංචාරක හෝටල් බොහොමයක් ඉදිවී ඇත. මේවායේ නිල හා නිල නොවන අයිති කරුවන් කවුරුන්දැයි මම නොදනිමි. එහෙත් හමුදාව යොදවා කඩි මුඩියේ පාරවල් කපන්න්නේ මේ හෝටල් කරුවන්ගේ හො වෙනත් එවැනි ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවකටමිස සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවකට නොවන බව ඉතා පැහැදිලිය. සජීව පෙනී සිට තිබෙන්නේ ඒ මහ ගොඩක් හෝටල් කරුවන් ඇතුළු ව්‍යාපාරිකයන් හා ජාවාරම්කරුවන් වෙනුවෙන් නොව මහ ගොඩක් නැති වැනසී යාමේ තර්ජනයට මුහුණදී තිබෙන රටේ පෙනහැල්ල ලෙස හදුන්වන අසරණ සිංහරාජය වර්ෂා වනාන්තරය වෙනුවෙනි. ඔබ අප කාගේත් හුස්ම පොද වෙනුවෙනි.

පරිසර දේශපාලය පරිසර ක්‍රියාකාරකම්, පාරිසර සමාජ ව්‍යාපාර ආදිය සියයට සියයක් නිවැරදි නැත. මේ ලියන මටද පරිසර ප්‍රශ්න වලදී වැරදීම් සිදුව ඇත. ඒවායින් අත් මිදෙන්නේ කෙසේද? ලිපිය දැනටමත් දිග වැඩි බැවින්  මෙයට දෙවන කෙටසක් එකතු කර ඒ ගැන මගේ අදහස පසුව ලියමි.

-කරුණාරත්න පරණවිතාන-

Social Sharing
නවතම විශේෂාංග